සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සමරුව දා මහාචාර්ය සරත් විජේසූරිය කළ ඍජු විවේචනාත්මක කතාව සම්පූර්ණයෙන් (Photo & Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.09, ප.ව.3.15) මාදුළුවාවේ සෝභිත නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණසමරුව නිමිත්තෙන් පාර්ලිමේන්තුවට නුදුරින් ඉදිවන උන්වහන්සේගේ පිළිරුව සහිත ස්මාරකය සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) සිදුකෙරිණ. 

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,   සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරු එක්ව සිටියහ.

පසුව නාහිමියන් වෙනුවෙන් දෙවර්ෂ පූර්ණ පිං පැමිණවීම උදෙසා කථානායක නිල නිවසේ කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පිරිනමන ලද සංඝගත දක්ෂිණාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

මේ කටයුතු වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් සහ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනමේ සාමාජිකයන් ද එක්ව සිටියහ. 

මුල් ගල තැබීමෙන් පසු පැවැති නිල උත්සව සභාවේ දී සෝභිත හිමියන් ජීවතුන් අතර සිටියදී හිමියන්ගේ ප්‍රධාන දායකයා ලෙස ක්‍රියා කළ කතානායක කරු ජයසූරිය මහතා කතාවක් කරමින් මෙසේ කීය. 

සෝභිත නාහිමියන් ජාතියෙන් සමුගෙන දෙවසරක් පිරෙන මේ මොහොතේ උන්වහන්සේ පිලිබඳ ශ්‍රේෂ්ඨ මතකය අනාගත පරපුරේ ද සිහිවටනයක් බවට පත් කිරීම වෙනුවෙන් ඉදිවන ස්මාරකයට මුල්ගල තැබෙන අවස්ථාවට පැමිණි කෘතවේදී මිනිසුන් වූ ඔබ සැම අද සුවිශේෂී ජාතික යුතුකමක කොටස්කරුවන් වෙනවා. මේ අවස්ථාවට එක්වන ඔබ සැමට මා හිස නමා ආචාර කරනවා.

මෙම ස්මාරකය පාර්ලිමේන්තුවට නිතිපතා ඇතුල්වන මන්ත්‍රීවරුන්ට යුක්තිය සාධාරණය පිරි සමාජයක් වෙනුවෙන් කැපවීමේ වගකීම සිහි ගන්වනු ඇත. එමෙන්ම එය මුළුමහත් ජාතියටම යහපාලන මුල ධර්මයන් සිහිපත් කර දෙන ශ්‍රේෂ්ඨ ස්මාරකයක් බවට පත් වනු ඇත.  දෙවසරක් ගෙවී ගියද උන්වහන්සේගේ මහා ප්‍රතාපවත් රුව, ස්ථිරසාර හඬ, තියුණු වාග්මාලාව තවමත් අප හදවත තුල ජීවමානව සිටිනවා.

ඒ උතුම් මතකය සමග උන්වහන්සේ තුල තිබූ නිර්මල අරමුණ උන්වහන්සේ පැතූ සමාජය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වගකීම අප උරමත තිබෙන බවත්, සිහි කළ යුතුයි. අද අපි පියවරෙන් පියවර ඒ සඳහා ඉදිරියට යමින් තිබෙනවා.

නමුත්, සෑම වසරකම සෝභිත හිමියන් සමරන මොහොතේ අප එම ගමනේ කොපමණ ඉදිරියට පැමිණ තිබෙනවා ද අපට වැරදුන තැන් මොනවා ද කියලා ආපසු හැරී බලන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න පුළුවන් වේවි. ඒ නිසාම සෝභිත හිමි සැමරීම තවත් එක් සැමරුමකට වඩා ජාතියේ අධිෂ්ඨානය අළුත් වන අවස්ථාවක්.   ඒ වගේම එවිට උන්වහන්සේ අප පිටුපසින් සිට අපට මඟ පෙන්වන බව දැනේවි.  මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමග සමීපව ඇසුරු කරන්නට ලැබීම නිතර උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබීමට හැකිවීම ජීවිතයේ ලද අතිමහත් භාග්‍යයක් ලෙස මම කල්පනා කරනවා.

ඒ සියල්ලටමත් වඩා මට උන්වහන්සේ තුල තැබූ මානව දයාව කරුණාව දැනුනු තැනක් හැටියට උන්වහන්සේ විසින් ගොඩනැගුණු විලච්චිය ඇලපත්ගම ගම්මානය හැඳින්විය හැකියි. උන්වහන්සේ වෙනුවෙන් එහි ජනතාවට පිළිසරණක් වන්නට අත්වැල් බැඳගත් සියළුම දෙනා ගෞරවයෙන් සිහි කිරීම මේ මොහොතේ මාගේ වගකීමක්.  එක ශ්‍රේෂ්ඨ මිනිසෙකුට මුළු මහත් සමාජයක් වෙනස් කළ හැකි බවත් එවන් එක් පුද්ගලයෙක් තබන එක් පියවරක් දැවැන්ත ගමනක ආරම්භය වන බවත් උන්වහන්සේ ගොඩනැගූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කදිම උදාහරණයක්.  ඒ තුලින් උන්වහන්සේ මේ රටේ ඉතිහාසයට අළුත් පරිඡේදයක් එක් කරනු ලැබුවා.

මෙහිදී ප්‍රධාන දේශනය කළ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ඍජු විවේචනාත්මක කතාවක් කෙළේය. ඔහුගේ සම්පූර්ණ කතාවේ වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-11-09 09:50:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

https://www.youtube.com/watch?v=ORS-BXlfgKY
-- by api on 2017-11-09

වීඩියෝ එකනම් බලන්න බැහැ. එරර් මැසේජ් එකක් එනවා. An error occurred. Try watching this video on www.youtube.com, or enable JavaScript if it is disabled in your browser.
-- by janawari 89 on 2017-11-09

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more