පව් පිං වලින් යැපීම හෙවත් මහරහතෙකු කළ ‘දුම් පයිප්ප‘ පූජාව -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 30)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.03,  පෙ.ව‍‍‍‍.9.05) වාහනයක් කැබලි වලට කොටස් කළ පසු  ඉතිරි වන්නේ  සුන්බුන් ගොඩකි. මුලින් දුටු වාහනය එහි නැත. අපේ ශරීරයද මෙසේ කපා කොටා දැමූ කල්හි මස් ගොඩක් මිස  සත්වයෙක් පුද්ගලයෙක් නැත .  ඇසට රූපයද, කණට ශබ්දයද, දිවට රසයද, නාසයට ගන්ධයද,  ශරීරයට ස්පර්ශයද දැනේ. මේ කිසිවක් සත්‍ය නොවේ. ක්ෂණයක්  ක්ෂණයක් පාසා අනිත්‍ය භාවයට පත්වෙන නාම රූප කෙරෙහි ඇලී බැඳී සිටීම මහා මුලාවකි. උපන්  සත්වයාට මරණය උරුමය ය. එය නොවැළක්විය හැකි ධර්මතාවයකි. අපේ බුදු පියාණන් වහන්සේ “සබ්බේ සත්තා මරිස්සන්ති“ යනුවෙන් දේශණා කළේ ඒ නිසාය“.  ඔබගේ ධනය අඹුදරුවන්  නෑ හිතවතුන්  මේ සියල්ල අතහැර දමා යම් දිනෙක මෙලොවෙන් නික්ම  යාමට ඔබට සිදුවේ . එසේ යන විට රැගෙන යන්නේ ජීවත්ව සිටියදී සිදුකරගත් පව් පිං පමණි. පව් කළ උන්  අපාගත වෙයි . පිං කළ උන් දෙව් ලොව උපදියි. භික්ෂුන්වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස  යන සිව් පසයෙන් උපස්ථාන කිරීමෙන් පිං සිද්ධ කරගැනීමට  පුළුවන. වෙහෙර විහාර බුද්ධ මන්දිර ඉදිකර දීම,  බෝධි රෝපනය, කැසිකිළි වැසිකිළි සාදා පූජා කිරීම, අට පිරිකර ඇඳ පුටු කොහු ඉදල් පාවහන්  හට්ටි මුට්ටි  පූජා කිරීම, බෝධි පූජා, මහාමායා පූජා, සිද්ධාර්ථ පූජා, පැවත්වීම  මහත්ඵල මහානිශංස පිංකම්ය.මෙසේ භික්ෂූන් වහන්සෙලාට දාන මානාදියෙන් උවටැන් කරන උපභෝග පරිභෝග වස්තූන්ගෙන් සංග්‍රහ කරන  පිංවත්හු මරණින් මතු  සදිව්‍ය, බ්‍රහ්ම,  මාර,   මනුෂ්‍ය,  ආදී සැපවත් ලෝකවල උපත ලබා අවසානයේදී අමා මහ නිර්වාන සම්පත්තිය වැළඳීමට හේතු වාසනාන්තයෝ වන්නාහ. පිං කරන්නෝ මෙලොව පරලොව දෙකේම සැප ලබති. පෙර ආත්ම භවවලදී පිංකළ ඇත්තෝ  අද සැප විඳිති . පව් කාරයෝ දුක් විඳිති. ඔවුන්ට වෛර කිරීමෙන් තව තවත් සිදුවන්නේ පවක්ම පමණි .එම නිසා කිසිවෙකුටත් වෛර නොකළ යුතුය. මෛතී භාවනාව වැඩිය යුතුය. නිතර නිතර මරණය සිහිපත් කරමින් මරණානුස්මෘති භාවනාව පිරිය යුතුය.

සූත්‍ර පිටකයේ සඳහන් තමන්ට වාසි සහගත යම් යම් ධර්ම කාරණ ද උපුටා දක්වමින්  (ගණිකා වෘත්තියෙහි යොදවමින්)     චෝරවාදීන් විසින්  පැය ගණන් දෙසා බානා යාං හෑලි තුල  ඉහත කතාවට වඩා වෙනත් අන්තර්ගතයක් තිබේද?  මේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ගිහියන් රවටා ඔවුන් සතු අන්තිම නූල්පොට දක්වා ඩැහැ ගැනීමට ලොල් වූ කපටි කෛරාටිකයන් විසින් පසුකාලීනව පාලි භාෂාවෙන්  ලියන ලද කූඨ ලේඛණ ද බොහෝය. චෝර මුණ්ඩකයන්  අපට ඒවා කියාපාන්නේ මහරහතන් වහන්සේලා දේශණා කළ ධර්ම පාඨ හැටියටය. එක් උදාහරණයක් මෙසේය.

“ධූම නෙත්තේ ජිනේ දත්වා, සංඝෙ ගුණ වරුත්තමේ, 
තීනානිසංසේ අනුභෝමී, කම්මානුච්චවියේ මම“

මෙම ගාථාවෙන් කියැවෙන්නේ පිළින්දිවච්චි මහ රහතන්වහන්සේ  පෙර භවයක   දුන් අපූරු දානයක් පිළිබඳව ය. තමන් වහන්සේ පදුමුත්තර බුදුන් ඇතුළු මහ සඟ රුවනට “ධූම නෙත්ත“ පූජා කිරීමෙන් ආනිසංස තුනක් ලැබූ බව මෙහි සිංහල අරුතයි. කල්පනා ශක්තිය වර්ධනය වීම, නහර වැල් නිසියාකාරව සම්බන්ධ වීම, ලේ ගමන යහපත්වීම එම ආනිසංස තුන බව සෙසු ගාථාවලින් කියවේ. “ධූම නෙත්ත“ යන්න අටුවාවෙහි අර්ථ ගැන්වෙන්නේ “දුම් පයිප්ප“ යනුවෙනි. ඉතින්  ඔබට මෙම කථාව විශ්වාස කළ හැකිද?  දුම් බීම ශරීරයට අහිතකර බව  වෛද්‍ය විද්‍යාව විසින් තහවුරු කළ සත්‍යයකි.  ඉහත ආනිසංස තුන වෙනුවට ඊට ප්‍රති විරුද්ධ භයානක ලෙඩරෝගවලට  දුම්බොන්නෝ ගොදුරු වෙති. දුම් පානයට ගිජුවූ මොකෙක් හෝ කහකඩයෙක් සිය අවශ්‍යතාවය පහසුවෙන් ඉටුකර ගැනීමට එය පාලි භාෂාවෙන් ගාථාවක් හැටියට කියා ඇති බව ඉතා පැහැදිලිය. රහතන් වහන්සේගේ නමක් ද එයට ගැට ගැසූ පසු  වැඩේ  තවත් පහසුය. මෙවැනි කප්පරක් කූඨ දේශණ බෞද්ධ සාහිත්‍යයෙන් බඩ පිරෙන්නට අහුලාගත හැකිය. 

ලෝකයේ කිසිදු දියුණු රටක් පිං පව් මත යැපෙන්නේ නැත. අමරිකාව ජපානය රුසියාව චීනය ඕස්ට්‍රේලියාව ආදී රටවල වෙසෙන්නේ ද අප වැනිම මිනිසුන්ය. පෙනුම පමණක් වෙනස්ය. ඔවුන්ද විවිධ ව්‍යසනවලට ගොදුරු වී තිබේ. ස්වභාවික විපත් සහ දේශපාලනික අර්බුද  ඇතුළු නොයෙකුත් ගැටළු ලොවටම පොදුය. දියුණු මිනිසුන් ඒ සියල්ලටම විසඳුම් සොයා ගනිති .  විවිධ ලෙඩ රෝග සුවපත් කරන ඖෂධ වර්ග සැත්කම්  වෛද්‍ය උපකරණ රෝග කාරක සොයා ගත්තේ ඔවුන්ය. අහස පොළව මහ සයුර සිසාරා යන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළේ ඔවුන්ය. එපමණක් නොව මානව අයිතීන් පිළිබඳව නිර්දේශ හඳුන්වා දෙන්නේ ද ඔවුන්ය. තවමත් ඔවුන්ගේ අධ්‍යයනයන්ගේ නිමාවක් නැත. අමරිකානුවා සඳට යද්දී අපි ‘චන්ද්‍ර පිරිත‘ සජ්ජායානා කරමින් සඳුගෙන් ආශීර්වාද ඉල්ලන්නෙමු.  ජපනා කෘතිම වැසි නිපදවද්දී අපි වැසි පතා ‘වැසි පිරිත්‘ කියන්නෙමු. චීනා සුර්‍ය බලශක්තියෙන් වැඩ ගනිද්දී      අපි උදේ සවස හිරුගෙන් යස ඉසුරු අයදිමින් ‘සූරිය පිරිත‘ ජප කරන්නෙමු. ප්‍රසූතිය පහසු වීම සඳහා ‘අංගුලිමාල පිරිත‘ දෙසවාගෙන රෝහල් ගතව සිසේරියන් සැත්කමෙන් දරුවන් බිහිකරවා ගන්නෙමු. පුල්මුඩේ  ඛනිජ වැලි වලින් කොරියානුවා ලෝහ භාන්ඩ  නිමවද්දී. අපේ තරුණයෝ එහි ගොස් උන්ගේ යකඩ  තලා උදම් වෙති. කුලපීඩනයට එරෙහිව  ඉන්දියාවේ මායාවතීලා බුදු දහම වැළඳගැනීමට සැරසෙද්දී. අපි කුලවාදී නිකායිකයන්ගේ දෙපා මුල වැඳ වැටී නිවන්  පතා ඔවුන් පෝෂණය කරන්නෙමු.  අප යැපෙන්නේ පෙර කළ පිං පව් වලින් නොව, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය, සරනාගතයන් පිළිබඳ එක්සත්ජාතීන්ගේ එකඟතාවය, ආසියානු මානව හිමිකම් කොමිසම ආදිය ඇතූළු විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ ලංකාව ඇතිකරගෙන තිබෙන  බැඳීම් නිසාය. යුද්ධය සුනාමිය වැනි බරපතල ආපාදාපන්න අවස්ථාවලදී මෙන්ම ගංවතුර තර්ජන නාය යාම් සුළි සුළං   වසංගත රෝග ආදියේ දී අපට පිහිට වූයේ තුන් සූත්තරය නොවන බව ද කිව යුතුය. කිසියම් ව්‍යසනයදී ලෝකයා අපට පිහිටවන්නේ පරිත්‍යාශීලීන් හැටියට මිස පිංවතුන් හැටියට නොවේ. ඔවුගේ එකම අභිලාශය විපතට පත්වූවන් එයින් ගලවා ගැනීමය. බෞද්ධයාගේ අරමුණ යමක් දන් දී ඒ පිණෙන් මෙලොව පරලොව දෙකේම යැපීමය.

අපට  යම් යම් රජවරුන් කළ අභිමාණවත් අතීතයක් තිබූ බව සැබෑය. පෙර දිග ධාන්‍යාගාරය,  වැනි විරුද නාමයන් හිමිකරගත්තේ ඒ නිසාය. ගම්වැසියන්ට පමණක් නොව රාජ රාජ මහාමත්‍යාදීන්ට  අවශ්‍ය සියළු ලෝහ භාණ්ඩ රන් රිදී මුතු මැණික් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් මෙන්ම ආහාර පාන බේත් හේත් නිෂ්පාදනය කළේ රට තුලමය. එනම් අපි අපිමය. එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කරන්නට ඇත්තේ එවැනි යහපත්  කාර්යයන් සඳහා විය යුතුය. අපේ සමහර රජවරුද පැවිද්දන්ගේ පදේටම නැටුවේ නැත. ජෙට්ටතිස්ස, වළගම්බා, මහසෙන් වැනි රජ දරුවන් කස්තිරම් ඇල්ලූ පබ්බජිතයන්ට දුන් දඬුවම් ගැන  මීට පෙර  පෙන්වා දී ඇත්තෙමු. මහා පරාක්‍රම බාහු රජතුමා මහා විහාර, අභයගිරි සහ සාගලික යන නිකායත්‍රය සමගි කරවා රටේ ආර්ථික සංවර්ධන සඳහා කළ මහඟු මෙහෙවර ද සුළු පටු නොවේ. නමුත් එවැනි රාජ්‍ය නායකයන් අද අපට නැත. තමන්ට පස්පඩංගුවේ බැණ වදින, රාජ්‍ය පාලන කටයුතු අණ පනත් නිර්දය ලෙස විවේචනය කරන, අධිකරණ නීතිය පමණක් නොව බුද්ධ නීතිය ද සමච්චලයට ලක් කරන කාසාම්භරයන්ගේ දෙපාමුල වැඳ වැටෙන්නට තරම් නිවට නියාළු භාවයට පත්වෙන ජනතා පරමාධිපත්ති ලාභීන්ගෙන් ලබ්බක්  බලාපොරොත්තු විය හැකිද? 
 
මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මැතිතුමා යාපනේ අධිකරණ බල ප්‍රදේශය තුල ඇති කෝවිල් වල බිලි පූජාව සඳහා සතුන් මැරීම තහනම් කළේය. පූජාවට මස් අවශ්‍යනම් මස්කඩවලින් මිළදී ගන්නැයි නියෝග පැනවීය. බඩජාරි පූජකයන් අහිංසක හින්දු භක්තිකයන් මුලා කොට කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ජාවාරමක් නතර කළේ හින්දු  විනිසුරු වරයෙකි. මෙයින් දෙවියන් උදහස් වූයේ නැත. එළුවන් කුකුළන් මිළදී ගෙන දේවාලයට බිළිදීම සඳහා ජනතාවට වැය වූ මුදල් ද ඉතුරු විය. බුදු සසුන යනුවෙන් අප අද වැද්දාගෙන සිටින්නේ ද හින්දු කුරුක්කල්ලා හඳුන්වා දී ඇති මෙම පූජා ක්‍රමයන්ටය. චෝර වාදීන් පංචස්කන්ධයෙන් පටන්ගෙන පව් පිං  වලින් අවසන් කරන්නේ ද හින්දු රටාවමය.  උන් සතුන් බිළි ගනිති. මුන් ගිහියන්ගේ සබ්බ සකළමණාවම බිළි ගනිති. මෙසේ ගිල දමන්නේ රටේ සහ ජනතාවගේ සියළු සංවර්ධන  ක්‍රියාදාමයන්  සහ ධනාත්මක ආකල්පයන් මිස අන් කිසිවක් නොවේ.

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38 

---------------------------
by     (2017-11-03 03:48:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which digit is 3rd in the number 5818978?

  2 discussion on this news

ධර්මදාස මහතා, ලිපිය පටන් ගැන්මේදී ලියා ඇති කරැනු ඔස්සේ යද්දි ධර්මදාස මහතාට මොනවා උනාදැයි වික්ෂිප්ත භාවය පත්වි ඊට විරැද්ධව කොමෙන්ට් කිරීමට සිතුවෙමි. එහෙත් පලමු පරිච්චේදය අවසන් වෙද්දි සියලු දෑ පැහැදිලි විය. පන්සල් පාලුවන්ගේ මෝඩ බෞද්ධයින් ඇන්දවිමට යොදා ගන්නා මිත්‍යා දෘෂ්ඨියම මෙහිදී ඔබගේ ආයුධය බවට පත් කරගෙන ඇත. මාගේ හදවතට එකඟව, හදවතින් ප්‍රකාශ කරනා, හදවතට තේරෙන සත්‍ය හා ඔබ එකඟ විය. මෙම සත්‍ය මෙවැනි වූ ප්‍රබල ඉදිරිපත් කිරීම් ඔස්සේ වඩ වඩාත් සමාජ ගත කිරීමට තව තවත් ෙෙධර්යය ලැබෙන ලෙස පතමි. ඔබට නිරොගිමත් බව සහ දීර්ඝායු පතමි. අහල පහල එකෙකුට කනක් ඇසී නිදහසේ ජීවත් වීමට නොහැකි ලෙස ලව්ඩ්සිපීකර් අටවාගෙන පන්සල් වල කරනා විකාර රෑපි ශබ්ද දූෂණය ගැනත් ලිපියක් පල කරන ලෙස ආරාධනා කරමි. පේස් බුකියේ පොරොෆයිල් එකක් සාදා මෙම දැනුම සහ චින්තන රටාව තරැනයින් අතරට ගෙන යාමට කටයුතු කරන ලෙසද ආරාධනා කරමි. මිත්‍යා දෘෂ්ඨියෙන් අන්ධ වී වයසට පත්ව මොලය මලකඩ කා හිරවි ඇති අති මහත් නාකි බෞද්ධයින් ගොඩ ගැනීමට තැත් කිරීම ගඟට ඉනි කපනවා වැනි වැඩකි. තවමත් බුද්ධිය විකාශනය වෙමින් පවතිනා නොමේරෑ සිත්වලට යම් කිසි සිතීමේ සහ තර්කනයේ ශක්තියක් ඉතිරිවී ඇති බැවින් ඔවුන්ට මාර්ගය පෙන්වීම වඩාත් ප්‍රතිපල දායක වේ. මාගේ බුද්ධියටද වැටහෙන ආකාරයට මම කියා මතු භවයකට යන නැවත ඉපදීමක් ලබන කෙනෙක් නැත. ඇත්තේ ගඟක් ලෙසින් නොනැවති ඉදිරියට ඇදෙනා ජීවයේ සහ පරිනාමනයේ ක්‍රියාවලියකි, අජීවී ද්‍රව්‍ය වල එකතු වෙමින්, වෙන් වෙමින් අන්තර් ක්‍රියා කරමින් පරිවර්තනය වෙමින් ඉදිරියට ඇදී යන ක්‍රියාවලියකි. වඩාත් සියුම් ලෙස සිතා බැලුවොත් ජීවී අජීවි කියා ප්‍රෙෙභ්දයක් වෙන් කිරීමද අපහසුය. මේ සියලු දේ ස්වභාව ධර්මයේ පදාර්ථයන්ය. එම පදාර්ථයන් ආහාර, වාතය, අලෝකය, උනුසුම, සිසිලස, පදාර්ථයේ එකට බැෙඳනා ගුනයන් සහ ඝර්ෂනය ලෙස අපගේ ශරීර නිර්මානය කිරීමට එකට එකතු වී ඇත. පරමානුවල ඇති ඉලෙක්ට්‍රෝන මට්ටමේ සියුම් ක්‍රියාකාරිත්ව තත්වයන් වලදී ජීවයේ ශරීරන් බවට පත්වි ඇති පදාර්ථයන් වලට සිත යැයි හඳුන්වනු ලබන අවස්ථාව පැන නගී. එය හරියට පහනක් දැල්වීම වැනිය. ෙභෟතික තත්වයන් යම් ආකාරයකින් එකතු කල විට දැල්ල ඇතිවේ. එම තත්වයන් නැති වූ විට දැල්ල නැති වී යයි. ඒ ආකාරයටම ශරීරයේ ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය තත්වයන් සහ යාන්ත්‍රනය ක්‍රියාත්මක වන විට සිතිවලි ඇතිවේ. එම සුසංයෝගයේ කිසියම් තැනක බිඳ වැටීමක් සිදු වූ විට ජීවියා මිය යයි, ජීවිතය නමැති ක්‍රියාවලිය අවසන් වී කුණවීමේ ක්‍රියාවලිය පටන් ගනී. එම අවසන් වීම වෙනත් ක්‍රියාවලි සමූහයකගේ මතු වීම වේ. යටපත් වී තිබූ බැක්ටීරියා වෛරස් කෘමි සතුන් ආදි විවිධ යාන්ත්‍රනයන් සහ ස්වභාවධර්මයේ බන්ධනයන් බිඳවැටී කැඩී බඳි දිරා යාමේ ක්‍රියාවලිය එතැන් සිට ආරම්භ වේ. එහි පදාර්ථය අවෙශා්ෂන කරමින් ගසක් වැඩෙයි, වෙනත් ජීවියෙක් බිහි වෙයි, කබරයෙක් ජීවය පවත්වාගෙන යයි. සිත යනුද මෙම ෙභෟතික ක්‍රියාවලියේම අවස්ථාවකි. කිසයම්මවු ෙභෟතික නිමිත්තක් හා සම්බන්ධ නොවූ සිතක් නොමැත. එම නිසා සිතද ද්‍රව්‍යකි. ශරීරය සාදා ඇති එම ද්‍රව්‍යන්ගේ බිඳි යාමත් සමගම සිතද අවසන් වේ. හරියට අර පහන් දැල්ල නිවී ගියා වාගේය. එසේ නම් මේ කහකඩයින් විසින් මතු ආත්මයක් සහ පින් පව් වශයෙන් දෙසනා මුසාව කුමක්ද? මුන් මෙහිදි කර ඇත්තේ බුදු දහමේ ඉගැන්වූ සත්‍යන් විකෘති අර්ථකතනයන් දි දෙසා බෑමකි. පින් පව් කර්මය හොඳ නරක ආදිය සත්‍යකි. නමුත් මුන් කියනා අර්ථයෙන් නොව. මොහොතින් මොහොත මිය යමින් නැවත ඉපදෙමින් ගලාගෙන යන අපගේ සිතුවිලි පරම්පරාවන් වල මමය මාගේය කියා ගත හැකි යම් වූ ස්ථිර නොවෙනස් ආත්මයක් ආදී වශයෙන් නම් කල හැකි කිසිවක් නැත. අැත්තෙ පහන් දැල්ල වපත්වාගෙන යාමට දායක වූ ක්‍රියා වලියක් පමනක් මෙන් ෙභෟතික ද්‍රවය්‍යන් හා සංවේදි වූ සිත කය යන ක්‍රියා වලියක් පමනි. මිනිසුන් ගත් විට සමාජයක් හැටියට මිනිසුන් කරනා කියනා දේවල් වල හොඳ නරක අත් විඳිනුයේ සමාජයක් හැටියට මිනිසුන්මය. පරිසර බලපෑම් හැටියට අනිකුත් ජීවීනට වන බලපෑම මෙහිදි මොහොතකට මතු නොකරමි. කර්මය යනු මාගේ සිතිවිල පරම්පරාව යම් පථයක වැඩ කරනා විට එම සිතුවිලි පරම්පරාවේ ස්වභාවය අනුව සිදුවන කි්‍රයාවලියයි. කෙනෙකුට පහර දෙන සිතකින් ඇතිවන සිතුවිලි පරම්පරාවක් ජනිත කරනුයේ ඒ හා බැඳුනු කර්මයන් හා විපාකයන්වේ. සමාජයක් හැටියට මේ සිතුවිලි බෝ කරගත් නිසා අපි අවුරැදු 30 ක් තිස්සේ යුද්ධ කරගත්තෙමු. සමහරැ දැන් ඊලඟ යුද්ධයටද අවශ්‍ය සිතුවිල පරම්පරා කර්මයන් ජනිත කරමින් සිටිති. තව අතතට ගත්විට ඇත්තේ සිතුවිලි මිස ඒවා හොඳ හෝ නරක ඒවා නොවේ. අපට වෙන බලපෑම අනුව අපි ඒවා වර්ගීකරනය කරමු. එම නිසා මා කියනුයේ අත්තේ මිනිස් ශිෂඨාචරයක් වශයෙන් අප විසින් ගොඩනගා ගත් අපගේ දැනුම, ආගම්, විශ්වාසයන්, දෘෂ්ඨින්, ඇදහීම්, අන්තගාමිත්වයන්, අගතිගාමිත්වයන්, වෛරයන්, ආශාවන්, මිත්‍යාවන්, ඇබ්බැහියන්, ව්‍යාකූලත්වන් ආදී වශයෙන් වූ මහා සිතිවිලි ප්‍රවාහයක් පමනි. මේ සිතුවිල ප්‍රවාහය ලෝකයේ මිනිසුන් විසින් මමය මාගේය මාගේ පවුලය මාගේ රටය මගේ ජාතියය කලයයආදි නොයෙක් සීමාවන් වලට කොටු කරගෙන සීමා මායිම් වැට කොටු ගසා ගෙන අනිකා සමග අනවරත යුද්ධයක සහ ගැටුමක සිරවි සිටිති. බුදුන් විසින් කලේ මෙම සත්‍ය වසා ගෙන සිටිනා අවිද්‍යාවට ප්‍රඥාවේ ආලෝකය නමැති බුද්ධිය මිනිසුන්ට කියා දීමයි. අන්තවාදී ආගමික හෝ වෙනයම් මතයකින් රෝගී නොවූ නිරෝගී මනසක් ඇති සාමාන්‍ය මිනිසෙකුට මතු ආත්මයක් නැත ඉදිරියට යනුයේ මාගේ දරැ මුනුබුරැ සහ මාගේ අසල් වැසි හිතවත් මිනිසුන්ගේ දරැවන්ය මාගේ රටේ ජනතාවගේ දරැවන්ටයන අවබෝධය ඇති වු විට කුමක් සිදු විය හැකිද? මාගේ අසල් වැසියා කන්ඩ නැතිව දුක් විඳිත්දි සියලු සැප පහසුකම් වලින් ආධ්‍යව පන්සලේ සුඛිත මුදිතව වැඩ වාසය කරන හාමුදුරැවන්ට බඩට ඇන ඇන දාන මාන චීවර පත්ත්තර කුඩ කැවිලි පෙවිලි ගෙන ගොස් පූජා කිරීමද නැත හොත් මෛත්‍රිය නැමැති ස්වභාවික බුද්ධිය පහල වී සමාජයට මාගෙන් කිසිදු මතු ලාභ ප්‍රයෝජන බලා පොරොත්තුවක් නොමැතිව දේවත්වයට හිමියැයි කියන්නාවු උතුම් මානසික තත්වයකින් යුතුව අසල්වැසියාට උදව් කිරීමද? බුදුන් විසින් ඇතිකල බුද්ධිමත් සමාජ විප්ලවය මෙයයි. ආර්ය අශ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය ආදියේ ගැබ් වෙනුයේ මෙම මාර්ගයයි, සත්‍යයයි, බෞද්ඛ චින්තනයයි, බෞද්ඛ සංස්කෘතියියයි. අපගේ මෝඩ බෞද්ධයින් සහ හාමුදුරැවරැන් විසින් විනාශ කරමින් සිටිනුයේද එම දර්ශනයයි. ලෝභ ද්වේශ මෝහ යැයි කෙයෙන් කීවේ අද පවතින බුද්ධාම ඇතුල මිනිස් ක්‍රියාකාරකමුයි. පසුගිය වර්ෂ ලක්ෂ 8 තුලම ලෝකයේ වායු ගෝලයේ වැඩිම කාබන් ඩයාක්සයිඩ් ප්‍රතිශතය මේ ඊයේ පෙරේදා වාර්තා විය. හැට හුට හමාරක් ආගම් සහ කෝටි ප්‍රකෝටි ගනන් දෙවිවරැ අදහන අල්ලා වරැන් ජේසුලා බුදුන්ලා සහ සහ තවත් පරම් උත්තමයින් අදහන ලෝකයක අප විසින් අවසානයේ හුස්ම හිරකරගෙන මිය යෑමේ මුව විටට පැමින ඇත්තෙමු. මේ පාරිසරික බලපෑම් වල ප්‍රතිපල මොනවාදැයි යන්න ඕනැ තරම් බුකියේ තොරතුරැ පලවී ඇත. එහෙව් බුද්ධිමක් කියා ගන්නා ලෝකයක් ඩොනල් ට්‍රම්ප් බැනි බූරැවන් ජනාධිපති වරැන් බවට පත් කරනා සමාජයක් බවට මිනිස් සමාජය පත් වී ඇත. සත්‍ය ගවේෂනයේදි එහි පරම අධිකාරිවරයා සහ පාර පෙන්වන්නා හැටියට හාමුදුරැවන්, පූජකයා හෝ කපුවා පත් කරගත හොත් සිදුවිය හැකි විපත මේ මොහොතේ ලෝකය විසින් අත් විඳිමින් සිටිති. මේ අත් විඳිනුයේ සත්‍ය වෙනුවට මිත්‍යාව වැලඳගැනීමේ විපාකයයි. ප්‍රභාකරන්, මහින්ද රාජපක්ෂ, හිට්ලර් හෝ ට්‍රම්පා යනු මිනිසුන්ගේ නූගත් කමේ උත්තානයයි. ලංකාවේ බෞද්ධ දර්ශනය මිය ගොස් බොහෝ කල් බවට වන සාක්ෂිය අද මෙරට පවතින බෞද්ධ සමාජ සහ නරැම පන්සල් කහකඩයින්ගේ පැවැත්මයි. මන්ධ බුද්ධික කහකඩයින් විසින් නිකායන් 3 ක් අටවාගෙන රටේ ජනතාව මිත්‍යා දෘශ්ඨියේ පරක් තෙරක් නොමැති පතුලකට ඇද දැමීම බුද්ධාගමේ අවසානයයි. රටේ ජනතාවගේ ලොකුම අවාසනාව නම් රටේ නායකයින් ද මේ පන්සල් කහකඩයන් පසුපස ගොස් උන්ට මුට්ටි අල්ලමින් දේශපාලන උප්පරවැට්ටියක නියැලීමයි. රටේ ව්‍යවස්ථාව තුල බෞද්ධ ආගමට මුල් තැන දී ක්‍රියා කරනවා යැයි කරනා ප්‍රකාශය මොන තරම් නූගත් ප්‍රකාශයක්ද? ව්‍යවස්ථාව අවසානයේ ක්‍රියාත්මක වශයෙන් විද්‍යමාන වනුයේ නීතිය තුලයි. නීතියකින් සත්‍ය අවබෝධය කල හැකියි කියනුයේ කුමන තරමේ නූගත් කමක් විය හැකි නිසාද? නීතියට හැකිද මට ආදරය කරැනාව මෛති්‍රය ඉගැන්වීමට? රටේ නායකයින් සහ පාලකයින් බුදුන්ගේ සංකල්ප අනුව ජීවත් වීම රට පාලනය කිරීම එක දෙයකි, බුදු දහම පිලිබඳ යම් චේදයක් ව්‍යවස්ථවට ඇතුලු කිරීම කිසිම තේරැමක් නැති තවත් දෙයකි. චේදය පිලිබඳ අපට අවශ්‍ය නම් මිනීමරැ කැරැල්ලක්ද ගැසිය හැකිය. නමුත් බදු දහමේ හරය ජීවමාන කිරීම යනු බුද්ධිමත් භාවය අවශ්‍ය කරන කරැනකි.
-- by silva on 2017-11-03

චිත්රපට වල පොලිස්කාරයා වව්රයා හා දේශපාලකයා අතර ඇති මනා සබඳතා රසවත් ව හරවත් ව පෙන්වයි. ඊළඟට මේ එක්කෙනෙකුත් ඊට එකතු වෙයි ද ?
-- by Openmind on 2017-11-05

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more