අපි වෙනුවෙන් අදට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ දිනයේදීවත් ජනාධිපතිට කණ ඇහේදැයි බලමු..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  පෙ.ව‍‍‍‍.8.20) මාධ්‍යයට එරෙහිව සිදුකරන ලද අපරාධ පිලිබඳ සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි යහපාලන ජනාධිපති යැයි කියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට  පත් වූ දා සිටම මාධ්‍ය සංවිධාන විසින් කොතෙකුත් හඬ නැගුවත් එය බීරි අලියෙකුට වීණා වැයීමක් වී තිබේ. මාධ්‍යයට කරන ලද අපරාධ සොයනවා වෙනුවට ඔහු විසින් කර ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට උදව් කිරීම පිලිබඳ ඇඟිල්ල දිගුව ඇති රාජපක්ෂලාගේ ඔත්තුකරුවෙකු වූ පෘතුගීසි සම්භවයකින් පැවත එන්නෙකු නොනිල මාධ්‍ය ලේකම් ලෙස පත් කිරීමය. 

කෙසේ වෙතත් අදට (නොවැ 02) යෙදී ඇති මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් ලංකාවේ පසුගිය කාලයේ මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඉල්ලමින් යලිත් වතාවක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ වසරට පුරා ශත වර්ශ කාලක් සපිරෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වත්මන් කැඳවුම්කරු සී දොඩාවත්තගේ සහ දිලීෂා අබේසුන්දරගේ අත්සන් වලින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක‍්ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය පුරා ම සිදු වී නොමැති බව කනස්සල්ලෙන් යුතුව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සහ ජනමාධ්‍ය ඇමැතිවරුන් හමු වී වර්තමාන රජයෙන් මීට පෙර ද මෙම ඉල්ලීම කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ගෙවුණු විසිපස් (25) පුරා ම මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙසට බලපෑම් කර ඇත. එසේ යුක්තිය ඉටු කරන්නට බලපෑම් කරමින් විවිධ උද්ඝෝෂණ දියත් කොට ඇත. එහෙත්, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සැලසුම් සහගතව සිදු වූ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් පරීක‍්ෂණ අවසන් කොට යුක්තිය ඉටු කිරීමක් සිදු වී නොමැත.

මාධ්‍යවේදීන් ඝාතනය, ඝාතනයට තැත් කිරීම, අතුරුදහන් කරවීම, පැහැර ගෙන ගොස් දරුණු වද දී අත්හැරීම සහ මාධ්‍ය ආයතනවලට පහර දීම හා විනාශ කිරීම ආදී දරුණු අපරාධ රාශියක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත. එහෙත් ඊට අදාළ පරීක්ෂණ අවසන් කොට යුක්තිය ඉටු නොකිරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ රජයට බව අපි අවධාරණය කරමු.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් දෙවැනි දා (02) මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ දිනය ලෙස නම් කර ඇත්තේ ද මාධ්‍යයට එරෙහි අපරාධකරුවන් දඬුවමින් නිදහස්ව සිටීම ලෝකය පුරා අඩු වැඩි වශයෙන් පවතින බැවිණි. එහෙයින් දැනට ආරම්භ කර ඇති පරීක‍්ෂණවල අවසානයක් දැකීම සඳහාත්, ඉක්මන් කිරීම සඳහාත් තවත් විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක‍්ෂණ ආරම්භ කිරීම සඳහාත් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

සී. දොඩාවත්ත - කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර  -ලේකම්  

---------------------------
by     (2017-11-02 02:52:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more