ගෞරව පුරස්සරව ලියා දන්වන වග නම්...!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  පෙ.ව‍‍‍‍.0.15) ජේආර් ජයවර්ධන හෙවත් ‘ඕල්ඩ් ෆොක්ස්‘ හෙවත් යැංකි ඩිකී උතුමාණන් හයෙන් පහක ඓතිහාසික පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් 1977 ජුලි 21 වෙනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ ය. ඔහු නොබෝ දිනකින්ම ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයකින් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් 1978 පෙබරවාරි 04 වෙනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේ ය. 

එකී ව්‍යවස්ථාවට එකල පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සෙසු වාමාංශික පක්ෂත් ඇතුළු බොහෝ දෙනෙකු විරුද්ධත්වය දැක්වූහ. ඒ සම්බන්ධයෙන් ප්‍රබලම විවේචනය එල්ල කෙළේ එකල ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ය. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂනයක්“ මැයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් රට හමුවේ තැබූ ඇන්.ඇම්. එමගින් පෙන්වා සිටියේ 78 විධායක ජනාධිපති ව්‍යවස්ථාව මගින් “ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක්“ ගොඩ නැගීම සහතික බවය. 

එතැන් සිට 2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනපතිවරණයත්, ඉන් ඔබ්බට 2015 අගොස්තු 17 පැවැති මහ මැතිවරණයත් දක්වා බලයට පැමිණි සියළු නායක නායිකාවන් මහජනතාවට ශපථ කළේ විධායක ජනාධිපති ධූරය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට ඒ වෙනුවට සැබෑ ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව ය. 

දැන් එම අවස්ථාව දොරකඩම පැමිණ තිබේ. මේ අවස්ථාවේ දී කළ එළි බැස සිටින මහා සංඝයා වහන්සේ අතරින් සුළු කොටසක් ‘නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැත, මේ තිබෙන එකම හොඳය, සැපය‘ කියා වදාරමින් සිටිති. මේ තිබෙන්නේ අතනින් මෙතැනින් රෙපයාර් කර අණ්ඩ දමා වැරහැලි වී ගිය 78 විධායක ජනාධිපති ව්‍යවස්ථාවම බව උන් වහන්සේලාට අමතක වී ද? 

තමන් විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ධූරයේ බලතල වලින් කළ නොහැක්කේ “පිරිමියෙකු ගැහැණියක කිරීම හෝ ගැහැණියක පිරිමියෙකු කිරීම පමණක්“ බවට ජේආර් උදම් ඇනූ බව එකල ප්‍රසිද්ධ කතාවකි. 1980 අග භාගයේ දී ගැටඹේ රාජෝවනාරාමාධිපතිව සිටි පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම හිමියන් ජේආර්. “ද්‍රෝහියෙකු“ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් කිපී එම විහාරයට කිසිවෙකුට ඇතුළුවීමට නොහැකි වන ලෙස කටු කම්බි ගැස්සවීමට ජේආර් ට සවිය ලැබුනේ එකී ව්‍යවස්ථාවෙනි. අද එම ව්‍යවස්ථාව රැක ගැනීම උදෙසා පෙනී සිටින එක් මූලස්ථානයක් වන්නේ ගැටඹේ රාජෝවනාරාමයම ය. අහෝ.. ඛේදයකි..!

1977 මැතිවරණයේ දී ජේආර් ගේ ප්‍රධාන සටන් පාඨය වූ “ධර්මිශ්ඨ සමාජය“ බිහි කිරීම වෙනුවෙන් ඔහු බලයට පැමිණි වහාම ලහි ලහියේ විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි.  ඒ වන විට දුර්වලව තිබූ විපක්ෂ බලවේග වලට කිසියම් ආකාරයක සමාජ විවේචනාත්මක ඉදිරිපත් කිරීමක් කෙළේ 1982 දී ප්‍රකාශයට පත් කෙරුණු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “ධර්මිශ්ඨ සමාජය“ නමැති කුඩා පුස්තකය මගිනි. එය තම ආර්ථික දේශපාලන ව්‍යාපෘතියට අභියෝගයක් කොට සැලකූ ජයවර්ධන ආණ්ඩුව මාන බලමින් සිටියේ සරච්චන්ද්‍රයන් නිහඬ කොට තැබීමට ය. එයට අවස්ථාව සැලසුනේ 1982 ජුලි 22 වැනි දින කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැති සිංහල බල මණ්ඩලයේ රැස්වීමේ දී ය. රැස්වීමට කඩා වැදුණු ජාතික සේවක සංගමයට අයත් මැර කණ්ඩායමක් පැමිණ සිටි පිරිසටත් වේදිකාවේ සිටි පිරිසටත් දිගට හරහට පහර දුන්හ. මූලාසනයේ වැඩ සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හිස පැලූ ඔව්හු මහැදුරු සරච්චන්ද්‍රයන් බිම දමා දෙකකුලින් අල්ලා කොරිඩෝවක් දිගේ ඇදගෙන ගොස් පහර දුන්හ. 

මෙම පහර දීම මෙහෙයවනු ලැබුවේ එකල ජේආර් ආණ්ඩුව තුල සිංහල බෞද්ධයන්ගේ පරම ආරක්ෂකයා ලෙස පෙනී සිටි කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් විසිනි. අද මැතිව් නැත. සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂකයෙකු ලෙස අද පෙනී සිටින ඇල්ලේ ගුණවංශ උන්නාන්සේ එකල සිටියේ ප්‍රහාරකයන්ගේ පැත්තේ ය. 

ආණ්ඩුවේ නිල කාලය දීර්ඝ කිරීම අරමුණු කොට 1982 දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනමත විචාරණයට එරෙහිව එවකට ගම්පහ සාම විහාරයේ විහාරමාධිපති පූජ්‍ය දරමිටිපොල රතනසාර නා හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් “පැවිදි හඬ“ සංවිධානය විසින් අත් පත්‍රිකාවක් මුද්‍රණය කොට ජනතාව අතර බෙදා හැරීම සැලසුම් කරන ලදී. එම අත් පත්‍රිකා මුද්‍රණය වෙමින් තිබියදී මුද්‍රණාලයට කඩා වැදුණු එකල ගම්පහ දිසාව බාර පොලිස් අධිකාරී ප්‍රේමදාස උඩුගම්පොල ඇතුළු පිරිසක් එම පත්‍රිකා තොගය අත් අඩංගුවට ගත්හ. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ක්‍රියාවෙන් නාහිමියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඒකමතිකව තීරණය කොට ඒ වෙනුවෙන් දඬුවමක් ලෙස නාහිමියන්ට වන්දියක් ගෙවන ලෙස පොලිස් අධිකාරී උඩුගම්පොල වෙත නියෝග කරනු ලැබිණි

තම විධායක ජනාධිපති ව්‍යවස්ථාව යටතේ තමන් විසින්ම පත් කරනු ලැබූ විනිසුරු වරුන් තම සුවච කීකරු පොලිස් නිලධාරියා වරදකරුවෙකු කරනු ලැබීම ගැන කෝපයට පත් ජේආර් උඩුගම්පොල විසින් ගෙවිය යුතු දඩ මුදල රජයේ අරමුදල් වලින් ගෙවා දැමීමට නියෝග කොට එපමණකින් නොනැවතී ප්‍රේමදාස උඩුගම්පොල වෙත උසස් වීමක් ද ප්‍රදානය කෙළේය. මේ සියල්ලට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට ශක්තිය සැපයූවේ ඔහුගේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙනි. 

දීර්ඝ කාලයක් තිස්සේ ඔඩු දුවමින් තිබූ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය 1983 කළු ජූලියත් සමග නව මානයක් ගනිමින් ඉතා දරුණු සන්නද්ධ යුද්ධයක් බවට පත්වීය. මේ සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර ගැටුම් විශ්ලේෂකයන් විසින් කරන ලද අනේක විධ අධ්‍යයනයන්ගෙන් එය “වාර්ගික-දේශපාලන ගැටුමක්“ (Ethno-Political Conflict) ලෙස හඳුනාගෙන තිබිණි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ තමන්ට හිමි පංගු කාරිත්වය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසී දෙමළ ජනතාව විසින් ගෙන ගිය අරගලය සන්නද්ධ කැරලිකාරිත්වයක් දක්වා ක්‍රමිකව වර්ධනය වූවක් ලෙස වැඩිදුරටත් විස්තර කෙරිණි. එසේ නම් එයට දිය යුතු විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විසඳුමක් මිස අන් කිසිවක් නොවිය යුත්තේම ය. 

දෙමළ ජනතාවගේ දේශපාලනමය ඉල්ලීම් නොතකා හැරි රජය අවසානයේ ඉන්දියානු බලපෑම් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමක් දක්වා ගමන් කෙළේය. එම සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස යම් මට්ටමකට බලය බෙදා හැරීමේ ක්‍රම වේදයක් වශයෙන් හඳුන්වා දුන් පළාත් සභාවලට එරෙහිව අවි අමෝරා ගත්තේ ප්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණයි. 

එහි සන්නද්ධ බලඇණිය වූ ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය‘ විසින් දියත් කරන ලද ඝාතන රැල්ල හේතුවෙන් 13 වෙනි සංශෝධනයට පක්ෂපාතී වූත් එයට පක්ෂව අදහස් පළකලා වූත් භික්ෂූන් වහන්සේලා 24 නමක් ඝාතනය කරන ලද බව සංඛ්‍යාලේඛන වල දැක්වේ.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඝාතන රැල්ලට එරෙහිව ආණ්ඩුවේ “රණවිරුවන්“ විසින් දියත් කරන ලද ප්‍රතිප්‍රහාරයන් හිදී ඝාතනය කරන ලද සහ අතුරුදහන් කරන ලද භික්ෂූන් වහන්සේලා ගණන තවම කිසිවෙක් නොදනිති. එකී “රණවිරුවන්“ විසින් තම අත් අඩංගුවට පත් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද වධ බන්ධනය හඳුන්වන ලද්දේ “ධර්ම චක්‍රය“ නමින් බව අද බොහෝ භික්ෂූන් වහන්සේලාට අමතකව ගොස් තිබේ. තම විහාරස්ථානයන්හි සද්ධිවිහාරිකව සිට රාත්‍රී හදිසියේ කඩා වැදුණු “රණවිරුවන්“ විසින් හැඳ සිටි සිවුරෙන් පළුවක් ඉරා දෑත් දෙඇස් බැඳ ඉතිරි අර්ධයෙන් අමුඩ ගස්වා රයිෆල් මිටෙන් පහර දී වැඩමවා ගෙන ගොස් “ධර්ම චක්‍රයේ“ යවා මහ මග ටයර් දමා පුළුස්සා දැමූ තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එම නොපනත් කම් වලට ආරක්ෂාව සැපයූ ජේආර් ගේ ව්‍යවස්ථාව රැක ගැනීම උදෙසා අද මහ පොළොවේ පස් වළඳන නායක හිමිවරුන් අඩුම තරමින් පාංශු කූලයක්වත් දී ඇත්දැයි හදවතට තට්ටු කොට විමසා බැලිය යුතුය. 

රාජ්‍ය පාලනයට හිමි කාරිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ස්ථාපිත කොට විසඳා ගත හැකිව තිබූ ජාතික ප්‍රශ්නය මිනීමරු යුද්ධ දෙකක් බවට පත් වීම හේතුවෙන් එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවද අද වන තුරුත් කිසිවෙකු නොදනී. මහා පරිමාණ ජන ඝාතක බෝම්බ තැබීම ආරම්භ කෙරුණේම 1987 අප්‍රේල් 21 දින පිටකොටුවේ බෝධිය පාමුළ ය. එතැන් සිට මායිම් ගම්මාන වලට පහර දීම ඇතුළුව වරින්වර සිදුකරන ලද හුදකලා ප්‍රහාරයන්ගෙන් අභාවයට පත් වූ සහ විපතට පත්වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව කොපමණදැයි කිව හැකිද? 1985 මැයි 14 වෙනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල සිදුකෙරුණු මිනිස් ඝාතනයේ දීත් මිය ගියේ විපතට පත් වූයේත් භික්ෂූන් වහන්සේලා සිල්මෑණි වරුන් ඇතුළු බෞද්ධයන්ම මිස අන් කවුරුන්ද? 1987 ජුනි 02 වෙනිදා අරන්තලාවේ දී සාමනේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 33 දෙනෙකු ඝාතනය කෙරුණු අතර 1998 ජනවාරි 25 වෙනිදා මහනුවර දළදා මාලිගාව ඉලක්ක කරගෙන කෙරුණු එල්ටීටීඊ ප්‍රහාරය හේතුවෙන්ද බැතිමතුන් විශාල පිරිසක් මිය ගියහ. 

මේ ඉතා කෙටියෙන් දැක්වූයේ ජේආර් ගේ ව්‍යවස්ථාව හේතුවෙන් ඍජුව සහ වක්‍රව නන් විධ ආකාරයෙන් බෞද්ධ ශාසනයට සිදු වූ අනතුරු කිහිපයක් පමණි. තවත් මදිද?

මේ තාක් අනතුරු ශාසනයට සිදුවීත් ඊටත් වඩා දස දහස් ගුණයක් අනතුරු පොදුවේ රටටත් ජනතාවටත් සිදුවී තිබිය දී තව දුරටත් එම ව්‍යවස්ථාව හොඳය, සැපය, මේ හැර අන් කිසිදු සුදුසු ව්‍යවස්ථාවක් අප රටට නම් නැත්තේම ය, එහෙයින් දිවි පුදා මෙයම රැක ගත යුතු යැයි දෙසා වදාරන්නට තරම් අපගේ භික්ෂූන් වහන්සේලාගේ නැණ විකල වී ඇත්තේ මක්නිසාදැයි යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. 

අප තිලෝගුරු අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ දහම අනුව ගත් කල ලෝකයේ ඕනෑම සංකීර්ණ ගැටළුවක්-ගැටුමක් විසඳා ගැනීම සඳහා අතැඹුලක් සේ සුදුසු වූ මහඟු මාර්ගෝපදේශනයක් එහි ඇතුලත් ය. එනම් චතුරාර්ය සත්‍ය දේශනාව ය. බුදුන් වහන්සේ එය පරම සත්‍ය වශයෙන් මිනිසා විඳින දුක අවබෝධ කර ගැනීමත් ඉන් මිදී ආත්ම විමුක්තිය සලසා ගැනීමත් උදෙසා දේශනා කරන ලද්දේ වුවද ඉන් මෙපිට ඕනෑම ගැටුමක් එම සමීකරණයට ආදේශ කොට ගැටුම, ගැටුමට හේතුව, ගැටුම නිරාකරණය කර ගැනීම සහ ගැටුම නිරාකරණය  කර ගැනීමේ මාර්ගය වශයෙන් පියවරෙන් පියවරට අගති විරහිතව ගමන් කොට සාමකාමී ලෙස විසඳුම් සොයා ගැනීම අපේක්ෂා නොකෙළේ යයි කාට නම් කිව හැකිද?

අනෙක් අතට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ශ්‍රී ලාංකික අපට අරුමයක් නොවේ. යටත් විජිත පාලකයන් 1931 දී සර්ව ජන ඡන්ද බලය පිරිනමමින් පළමුවරට ලිඛිත ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්හ. එය ඩොනමෝර් ව්‍යවස්ථාවයි. දෙවැනුව ශ්‍රී ලංකාවට නිදහස පිරිනමමින් 1948 දී සෝල්බරි ව්‍යවස්ථාව මත පිහිටුවා ලංකා රාජ්‍ය ස්ථාපනය කරන ලද්දේ ය. තුන්වැනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කරමින් 1972 දී ජන රජ ව්‍යවස්ථාවත් අවසානයේ අද බලපැවැත්වෙන 1978 විධායක ජනාධිපති ක්‍රමය ඇතුලත් ව්‍යවස්ථාවත් වශයෙන් පසුගිය වසර 86 ක කාලය තුල පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 4 ක් යටතේ අප පාලනය වී ඇත්තෙමු. තවත් අලුත් එකක් අත් හදා බැලීම නරකදැයි ශාසනාලයෙන් මෙන්ම දේශආලයෙන් යුතුව අපගේ ගරුතර භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටිනු කැමැත්තෙමි.

ඒ වගත් මෙසේම

රවි චන්ද්‍රලාල් 

---------------------------
by     (2017-11-01 19:11:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If a person is called David, what is their name?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more