පහුගිය වසර දෙක පරිවර්තන යුගයක්..! වැඩියෙන්ම බනින්නේ ඒ යුගය ගෙනා මටයි..!! - ‘ප්‍රගතියෙන් බිඳක්‘ එළිදක්වමින් අගමැති කියයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31, පෙ.ව.5.45) මේ වසර දෙක පරිවර්තන යුගයක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ පරිවර්තන යුගය කොතෙක් ද කියා කියනවා නම් දැන් පුවත් පත්වලින් වැඩිපුරම බනින්නේ තමාට බවත් ඒ තමන් මෙම පරිවර්තන යුගය ඇති කළ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  “අනෙක් හැමදෙනාම හොඳයි. පරිවර්තනය යුගය ඇති කළ කෙනා නරකයි. ඔවුන්ගේ හැටි එහෙමයි.“ අගමැතිවරයා කීය. 

ඔහු මේ ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රමුඛත්වයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ආණ්ඩුව ළඟා කර ගත් සුවිශේෂී ජයග්‍රහණ ඇතුළත් "ප්‍රගතියෙන් බිඳක්" වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් සිරිකොතදී ඊයේ (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ද සහභාගි වූහ. අගමැතිවරයා මෙසේද කීය.

“2015 වසරේ ජනවාරි 08 වැනි දා අප නව ආණ්ඩුවකට එකතු වුණා. අපගේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට ජනාධිපති වූ පසුව එක්සත් ජාතික පක්‍ෂයත්, එතුමාට සහයෝගය දුන් සමහර පක්‍ෂත් අප සියලූ දෙනා එක්ව ආණ්ඩුවක් නිර්මාණය කළා.

අප යළිත් එම වසරේ, අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා. දැන් ක්‍රියාත්මක වන්නේ එම ආණ්ඩුවයි. එම ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්‍ෂය ගත් පියවර පිළිබඳවත්, රටට ලබාදුන් ප්‍රගතිය පිළිබඳවත් සිහිපත් කළ යුතුව තිබෙනවා. අප මේ කියන්නේ එක්සත් ජාතික පක්‍ෂය සිටින ආණ්ඩුවක ප්‍රගතිය පිළිබඳවයි.

මේ පිළිබඳව ප්‍රශ්න කිහිපයක් පැනනැගී තිබූ නිසා එම කාරණය පැහැදිලි කළ යුතුව තිබෙනවා. පළමුවෙන්ම එක්සත් ජාතික පක්‍ෂය අලූත් වාර්තාවක් බිහි කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා කොට ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අපට හැකියාව ලැබුණා. මෙතෙක් කල් එවැනි වැඩ කටයුත්තක් තිබුණේ නැහැ. 2015 සැප්තැම්බර් මාසයේ දී අප ජාතික ආණ්ඩුවක් බිහි කළ දැන් ඒ ආණ්ඩුවට වසර දෙකක් ගත වී තිබෙනවා.

රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමටත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජයග්‍රහණයටත් එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ, කඳුරට ද්‍රවිඩ පක්‍ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ ගණනාවක් එක්ව වැඩ කළා. එකට වැඩ කිරීම සඳහා අපට ශක්තිය තිබුණා. අප වැඩ ආරම්භ කළේ ඒ අනුවයි. රාජපක්‍ෂ රෙජීමය රට විනාශ කළා. ආර්ථිකය නැති කළා. අධිකරණය දුර්වල කළා. පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීමට පියවර ගත්තා. මේ අනුව 2015 වනවිට රට හැම අතින්ම පිරිහීමකට ලක්ව තිබුණා. මාධ්‍ය නිදහස නැති කළා. ආර්ථිකය ණය බරින් කඩා වැටුණා. එම නිසා රට ගොඩගැනීමේ වගකීම එදා අපි භාරගත්තා.

එක්සත් ජාතික පක්‍ෂය සිටින ආණ්ඩුව මේ හැම අභියෝගයකටම මුහුණ දී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාශීලී බව ගැන මා අමුතුවෙන් කිව යුතු නැහැ. අප මේ වසර දෙක තුළ සිදු කර ඇත්තේ කුමක්ද? අපේ වැඩසටහන කුමක්ද? මේ කාල සීමාව තුළ අපට අවශ්‍ය වූයේ ඔබ සියලූම දෙනාට හොඳ අනාගතයක් ලබාදීමටයි. අද අප ක්‍රියා කරන්නේ එම අනාගතය ලබාදීමටයි.

මේ වසර දෙක පරිවර්තන යුගයක් ලෙස හැඳින්විය හැකියි. ඒ පරිවර්තන යුගය කොතෙක් ද කියා කියනවා නම් දැන් පුවත් පත්වලින් වැඩිපුරම බනින්නේ මටයි. ඒ මා මෙම පරිවර්තන යුගය ඇති කළ නිසයි. අනෙක් හැමදෙනාම හොඳයි. පරිවර්තනය යුගය ඇති කළ කෙනා නරකයි. ඔවුන්ගේ හැටි එහෙමයි. පළමු පරිවර්තනය මාධ්‍ය දෙස බැලූ විට පෙනෙන්නට තිබෙනවා. වෙන කිසිවක් කියන්නට අවශ්‍ය නැහැ. අපට කොතරම් බැන්නත් කිසිවෙකුත් සුදුවෑන්වලින් ගෙන යන්නේ නැහැ. බොරු ලිව්වා කියා කිසිවෙකුත් ගෙන ගිහින් ප්‍රශ්න කරන්නේ නැහැ. අප කරන්නේ ඒවාට පිළිතුරු දීම පමණයි. පරිවර්තනය පෙනෙන්නට ඇති එක් අවස්ථාවක් ලෙස එය හැදින් වි හැකියි.

අප මෙරට ණය බර ආර්ථිකයකට මුහුණ දුන්නා. අප ආණ්ඩුවක් ගත්තේ ඇයි? රාජපක්‍ෂ ජනාධිපතිවරයාට එදා මුදල් පාලනය කිරීමට නොහැකි වූ නිසයි. ඔහු වසර දෙකක් ආණ්ඩු කිරීමට තිබිය දී මැතිවරණයක් පැවැත්වූවා. 2013 වසරේදී රාජපක්‍ෂ රජයට ලැබුණු ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව ඔහු දැනගත්තා. 2014 වසරේ තිබුණේත් එවැනි තත්ත්වයක් බව කිව යුතුයි. ආණ්ඩුව කඩා වැටේවි යැයි බය වී ඉක්මනින් මැතිවරණය පැවැත්වූවා. ඔහු සිතුවේ ආණ්ඩුව කඩා වැටෙන්නට පෙර මැතිවරණය පවත්වා කෙසේ හෝ ජයග්‍රහණය කරන්නයි.

අප රට භාරගත්තේ ලෙඩා මැරෙන්නට යනවා යැයි දැනගෙනයි. ලෙඩා මැරෙන්නට ඔන්න මෙන්න තත්ත්වයේදී අප විසින් භාරගත්තා. අප මුලින් කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට පෙර ගෙදර ආර්ථිකය බේරාගැනීමයි. ගෙදර ආර්ථිකය බේරාගැනීම සඳහා අප බඩුමිල අඩු කළා. රජයේ සේවකයන්ගේ වේතන රුපියල් 10,000 කින් වැඩි කළා. පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දස දහසක් බවට පත් කළා. තෙල් මිල අඩු කළා. අපේ ප්‍රතිපත්තිය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවූ විට එහි වාසිය ජනතාවට ලබාදීමයි. තෙල් මිල වැඩි වූ විට අපට එය දරාගැනීමට සිදු වෙනවා.

රාජපක්ෂ රජය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවූ අවස්ථාවේදී මෙරට මිල අඩු කළේ නැහැ. ජපානය, එංගලන්තය, මැදපෙරදිග ආදී ඕනෑම රටකට ගියහොත් තෙල් මිල අඩුවෙන විට පාරිභෝගිකයාට එහි වාසිය ලැබෙනවා. තෙල් මිල වැඩිවෙන විට ඒ අයුරින්ම මිල වැඩි වෙනවා. අපත් අද ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රමවේදයයි.

2015 වසර වන විට අප ජනතාවගේ අතට මුදල් ලබාදුන්නා. ණය බරින් ආර්ථිකය කඩාවැටීමට ඉඩනොදී කෙසේ හෝ ඇදගෙන ගියා. 2016 – 2017 වසරවලදී අප ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා. මේ ණය බර ගෙවන්නේ කෙසේ දැයි සැලසුම් සකස් කළා. ඊළඟ වසර දෙක ඇතුළත අපට කෝටි ලක්‍ෂ තුනක ණයක් ගෙවන්නට තිබෙනවා. එම ණය කන්දරාව ගෙවීම සඳහා අද අප ආර්ථික ස්ථාවර බවක් ඇති කර තිබෙනවා.

අද අපේ විදේශ විනිමය අනුපාතය ගන්නේ වෙළෙඳපොළ අනුවයි. පොලිය තීරණය කරන්නේ වෙළෙඳපොළ අනුවයි. එවැනි ආර්ථිකයක් ඇති කර මෙරට ජනතාවට සහයෝගය ලබාදීමට අපට හැකියාව ලැබුණා. මේ කටයුතු කරන අතරතුර නිවාස ලක්‍ෂ දෙකක් ඉදිකිරීම සඳහා ආධාර උපකාර කිරීමට අපට හැකියාව ලැබුණා. හොඳම පාසල ළඟම පාසල වැඩසටහන යටතේ පාසල් දියුණු කිරීමට හැකි වුණා. පාසල් සිසු සිසුවියන් සඳහා සමාජ රක්‍ෂණ ක්‍රමයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය සේවයත් ඒ ආකාරයටම දියුණු කිරීමට හැකියාව ලැබුණා. සෞඛ්‍ය සේවය දියුණු කරන අතරතුර ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමටත් අපට හැකියාව ලැබුණා. වැටුප් වැඩිකරන අතරතුරම ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. ඍජු සහ වක්‍ර ආදායම් මාර්ග ලක්‍ෂ 4 ක් මේ වන විට බිහිකර තිබෙනවා.

එම සංඛ්‍යාවෙන් පමණක් සෑහීමකට පත්වීමට හැකියාවක් අපට නැහැ. ජීවත්වීමට හැකියාව ලැබුණත් ඒ සෑම රැකියාවක්ම ඉතා හොඳ රැකියා නොවේ. අතේ තවත් මුදල් ඉතිරි කිරීමට හැකි රැකියා බිහිකිරීමට හැකි විය යුතුයි. එමෙන්ම අපට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට හැකි වුණා. දැන් සංචාරකයන් ලක්‍ෂ 20 ක් පමණ මෙරටට එනවා. එමෙන් වැඩිපුර විදේශ රැකියාවලට ගොස් තිබෙනවා. ලෝක වෙළෙඳපොළ නැවත අල්ලා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් ඇගළුම් තීරු බදු සහනය ලබාගැනීමට හැකියාව ලැබුණා. එමෙන්ම ධීවර අපනයන වැඩිකර ගැනීමට හැකි වුණා. අනාගත දියුණුව සඳහා දේශීය සහ විදේශීය වශයෙන් පෞද්ගලික ආයෝජන දියුණු කිරීමේ කාර්යයන් ද අප විසින් සිදු කරමින් සිටිනවා. අප ලබාදුන් ප්‍රතිඵලය මෙයයි.

නැති වෙන්න ගිය රට ඉතා කෙටි කාලයක් තුළ ස්ථාවර බවක් ඇති කර ඉදිරියට යෑමට හැකි වාතාවරණයක් නිර්මාණය කළා. මේ ප්‍රගතිය අත්කර ගැනීමට හැකියාව ලැබුණේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්‍ෂය සිටි නිසයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂය සිටියේ නැහැ. ඒ යුගයේ රට කැඩුණා. රට නැති වුණා. ජනතාවගේ අයිතිවාසිකම් නැති වුණා. සොරකම් වැඩි වුණා.

මෙරට සිදුවෙමින් පැවති අපරාධ ප්‍රමාණය 3න් 1 ක් දක්වා අඩුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක සිටින විට ලැබෙන වෙනසයි. අපට 2/3 ක බලයක් ලැබී ආණ්ඩුවක් හැදුවත් මේ ආකාරයට ජාතික ආණ්ඩුවක සිටියත් එක්සත් ජාතික පක්‍ෂය රට හදනවා. රටට යහපත් ආකාරයේ වෙනසක් කරනවා. අනාගතය ගැන හිතන්නට හැකියාව ඇත්තේ අනාගතය ගැන සිතා වැඩ කරන්නට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයටයි. එම නිසා එක්සත් ජාතික පක්‍ෂය කළ දේ ගැන දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ ප්‍රගතියෙන් බිඳක් යන වාර්තාව අප එළිදක්වනවා. ඒ වාර්තාව කියවූ විට අප කළ වැඩ කටයුතු ගැන දැනගන්නට හැකියාව ලැබේවී.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, 2025 දී සැමට නිවසක් ලබාදීම, ජීවන වියදමට රුකුලක් ලබාදීම, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීම, ප්‍රදේශ සංවර්ධනය, රට සංවර්ධනය, ආරක්‍ෂාව සහ ස්ථාවර බව ආදී සියල්ල ඇතුළු කොට මේ පොත් පිංච නිකුත් කරනවා. අප රටට වැඩකර තිබෙන බැවින් ඕනෑ තරම් කතා කිරීමට හැකියාව තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයේදී පංච විධ ක්‍රියාවලියක් එළිදැක්වූවා. එහි ක්‍රියාත්මක බව කෙසේද?

පිළිතුර : අප මුලින් කළේ රටේ බැරෑරුම් ප්‍රශ්න විසඳීමයි. ඒ ක්‍රියාවලිය සාර්ථක කර ගෙන තිබෙන නිසා අනික් සියලූ ක්‍රියාදාමයන් ආරම්භ කර තිබෙනවා. දූෂණ, වංචා පිළිබඳව සොයනවා. සමහරුන් වේගය මදිබව කියනවා. අප සියල්ල කරන්නේ නීතියට අනුකූලවයි. සියල්ල ආරම්භ කර තිබෙනවා. සමහර දේ වේගයෙන් සිදු කර තිබෙනවා. ආර්ථිකයේ ස්ථාවර බව සංහිඳියාව ගොඩනැගීම සඳහා මූලික පියවර ඇති කර තිබෙනවා. දැන් අපට ඉදිරියට යාමට හැකියි.

ප්‍රශ්නය : ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මේ වනවිට කොතරම් කාර්යන් ප්‍රමාණයක් ඉටුකර තිබේද?

පිළිතුර : තව බොහෝ වැඩ කටයුතු සිදු කිරීමට තිබෙනවා. මුලින් ස්ථාවර බව ඇති කළේ නැතිනම් ජාතික ආණ්ඩුව කඩා වැටෙනවා. 2018 – 2019 වසර විශාල ණය බරක් ගෙවීමට තිබෙනවා. ඒ සියල්ල කරන අතරතුර අප රට ඉදිරියට ගෙන යා යුතුයි. අප ස්වයං විවේචනයක් කරගෙන මෙතෙක් කළ වැඩ මොනවා ද? ඉදිරියට කරන්නට ඇති දේ මොනවාද කියා තීරණය කරනවා. ඇතැම් දේ කරන්නට කල් ගත වේවි.

ප්‍රශ්නය : ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය ලබාදීම සම්බන්ධව ගිවිසුමක් සකස් කර තිබේ ද?

පිළිතුර : නැහැ. ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය ලබාදීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දියාව හෝ ඕනෑම කෙනෙකුට පැමිණ ත්‍රිකුණාමල වරායේ කොටස් සංවර්ධනය කරන්නැයි අප පවසා තිබෙනවා. ටර්මිනල්, ජැටි, තෙල් ටැංකි සංවර්ධනය කිරීම පිළිබඳව අප කතා කර තිබෙනවා. තවත් සමාගම්වලට පැමිණ තෙල් ටැංකි ඉදිකිරීමට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය දියුණු වන්නේ බෙංගාලබොක්කේ රටවල් දියුණු වූ විටයි. එහි දියුණුව තවත් ඉදිරියට යා යුතුයි. බෙංගාලබොක්කෙන් 40% ක් ඇත්තේ ඉන්දියාවේ වෙරළයි. ඉතිරි ප්‍රමාණය බංගලාදේශයට සහ මියන්මාරයට අයත් වෙනවා. අනාගතයේදී ඔවුන් සමගත් වැඩ කටයුතු කරන්නට සිදු වේවි. ඒ කාරණය දැනගෙන අප කටයුතු කරනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ගෙනැවිත් ත්‍රිකුණාමලයේ ගොඩබා පිටරට යැවීමට හැකියාව ඇත්නම් ටර්මිනල් එකක් ලබාදීම ප්‍රශ්නයක් නැහැ. දැනට එකඟත්වයකට පැමිණ ඇත්තේ තෙල් ටැංකි සම්බන්ධයෙන් පමණයි. ඉන්දියාව පමණක් නොව සිංගප්පූරුව, ජපානය ආදී රටවල් පවා මේ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. ත්‍රිකුණාමලය යනු ලෝකයේ විශාලතම වරායන් පහෙන් එකක් බව අමතක කළ යුතු නැහැ. දැනට බෙංගාලබොක්ක වටා දියුණුව අඩුවීම ප්‍රශ්නයක් වී තිබෙනවා.

ප්‍රශ්නය : එට්කා ගිවිසුම සම්බන්ධ තත්ත්වය කොහොමද?

පිළිතුර : අප ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා. අපට බලපාන්නේ තීරු බදුවලට වඩා තීරු බදු නොවන බාධකයි. ඒවා ඉවත් කළ යුතුයි. නැතිනම් අපට වාසියක් වන්නේ නැහැ. අපේ බඩු ගෙන ගොස් සුමාන දෙක තුනක් වරායේ තියාගෙන ඉන්නවා නම් පළක් නැහැ. මේ පිළිබඳව අප සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය : ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සූදානම කෙසේද?

පිළිතුර : එක්සත් ජාතික පෙරමුණ ලෙස අදාළ පක්‍ෂ සමග එක්ව අප තරග කරනවා. 

---------------------------
by     (2017-10-31 00:21:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

26, thirty five and 29: the 1st number is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more