දළදා වහන්සේගේ භාරකරු තේරීමට කාන්තාවන් අයිතිය ඉල්ලීම දේවදත්තයාගේ “පංච වරය“ සේ නොසලකා හැරීම වැරදියි -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 28)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.26,  ප.ව‍‍‍.11.55) “කාන්තාවක් හිසේ සඟවාගෙන ආ දළදා වහන්සේගේ වතාවත් වලින් කාන්තාවන් බැහැර කරන්නේ ඇයි? මාලිගාවේ පාළන මෙහෙවරට කාන්තාවන්ටත් අයිතියක් දෙන්න.“ යන හිසින් “ විමෙන් ෆෝ ජස්ට් සොසයිටි “සංවිධානයේ සභාපතිනී  රේණුකා  ඩී. නාගොඩවිතාන මහත්මිය විසින්   (2017 ඔක්   09 දින) ලංකා ඊ නිවුස් වෙත ලියා තිබුනේ අතිශය සංවේදී සටහනකි . ඇය එහි මෙසේ සඳහන්කර තිබේ.

“දන්ත ධාතුන් වහන්සේ කොණ්ඩයේ සඟවාගෙන සතුරු බලවේග වලින් බේරෙමින් නිර්භීත ලෙස මහා මුහුද තරණය කර මෙරටට ගෙන ආවේ කාන්තාවක් නොවේද? ඇය එසේ නොගෙනාවා නම් ගාම්භීර ලෙස මෙම දියවඩන නිලමේ තනතුර දැරීමට පිරිමියෙකුට අවස්ථාවක් ලැබේද? කාන්තාවක් විසින් එසේ ගෙන ආ දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂකයා හෙවත් භාරකරුවා පත්කිරීමේ නිලවරණය සඳහා චන්දය දීමට කාන්තාවන්ට අයිතිය නොදීම පුරුෂාධිපත්‍යය මනාව පෙන්නුම් කරන්නක් නොවේද?'

නාගොඩ විතාන මහත්මියගේ  මෙම පෙන්වාදීම අසත්‍යක්යැයි පැවසීමට කිසිවෙකුටත් නොහැකිය.  ඇය මෙසේ ද ලියා තිබේ .

“සත්‍ය සහ සාධාරණ වශයෙන් කිවහොත් මෙම දියවඩන නිලමේ තනතුරට එනම් දන්ත ධාතුන් වහන්සේගේ භාරකරුවා ලෙස පත්විය යුත්තේ කාන්තාවකි. එය පිරිසිදුභාවය පිලිබඳ ගැටලුවක් නම් හේමමාලා දන්ත ධාතුන් වහන්සේ සමග, මුහුදේ සුළඟ හමන අතට පාවෙන එන්ජිමක් නැති රුවල් ඔරුවක නැගී මාස ගණනක් එනවිට එය කොතරම් කිල්ලට අසුවී අපිරිසිදු වන්නට ඇත්ද..? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතැනකවත් මෙවැනි ආකල්පයන් සඳහන් නොවේ. එයට හේතුව විය හැක්කේ, වෙනත් ආගමික දාර්ශනිකයන් උපත ලබුවායයි පැවසෙන ආකාරයට නොව, උන් වහන්සේ මෙලොවට පහල වුයේ අප මෙන්ම සියලුම සත්වයන් උපදින සාමාන්‍ය ක්‍රමවේදයටය. එනම් පුරුෂ ප්‍රාණයක් හා සම්බන්ධවීම නිසා ස්ත්‍රී ප්‍රාණයක ගර්භාෂයක් තුල හටගත් කලලයකින්ය, මව පියා ඇති සාමාන්‍ය මිනිස් දරුවකු ලෙසය. තවද උන් වහන්සේද ගිහි කල කාන්තාවක් සමග විවාහ වී දරුවන් ලද තැනැත්තෙකි. එවැනි ආකල්ප හින්දු ආගමෙන් ආරෝපණය කරගත් මනඃකල්පතියන් හා මතවාදයන් මිස බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ සඳහන් නොවේ.“

කථාව නිවැරැදිය.

එපමණක් නොව ජය ශ්‍රී මහා බෝධී වෘක්ෂයේ   දක්ෂිණ ශාඛාව අප රටට වැඩම කරවූයේ ද කාන්තාවක් වූ සංඝමිත්තා රහත්  තෙරණියන්  විසින්ය.  ලෝක බෞද්ධ ජනතාවගේම හරසරට ලක්ව ඇති ශ්‍රී දළදා වහන්සේ සහ  අනුරාධපුර මහමෙවුනා උයනේ  විරාජිත ශ්‍රී මහා බෝධිය  අපට උරුම කර දුන්නේ කාන්තාවන් දෙදෙනෙකි. එක් අවස්ථාවක දී   කුරහන් ගලක සඟවා දළදාව රැකගත් බව ප්‍රසිද්ධ සත්‍යයකි. කුරහන් ගල පරිහරනය කරන්නේ ගැහැණුන්ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන අලින්ගෙන් බේරා ගැනීම සඳහා ගිනි මැළ පත්තු කළ යුගයක් ද තිබුනි.මේ සඳහා දර ඇද්දේ කාන්තාවන්ය. අදත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් කෙරෙන වාර්ශික මංගල්‍යෙය් දී දර මිටි පූජාව පවත්වනු ලබන්නේ  ඒ අතීත රැකවරණය සමරනු වස්ය. එහෙත් ස්ත්‍රියකට බෝධියේ උඩ මළුවට යාම තහනම්ය. දඹදිව පිහිටි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ  මව් ශාඛාවට පිටදී බුද්ධත්වය ලැබූ සිදුහත් ගෞතමයන්ට කිරි පිඬු දානය  පූජා කළ සුජාතා සිටු දියණිය ඒ සඳහා ගත් වෙහෙස සුළුපටු එකක් නොවේ. 

එමෙන්ම සත්මහ දෙමළුන් පසුපසින් පන්නාගෙන එද්දී රථයේ බර වැඩි නිසා  සෝමා දේවිය  බිමට බැස සිය ස්වාමියා වන වළගම්බා රජුට පලා යාමට අවස්ථාව සලසා නොදුන්නා නම්  ලංකා ඉතිහාසය මීට වඩා වෙනත් ආකාරයකට ලියවෙන්නට ඉඩ තිබුනි.  ජාතියේ මහා වීරයා සේ සැළකෙන දුටු ගැමුණු  රජතුමාගේ සියළු ජයග්‍රහණයන් පසුපස  සිටියේ ඔහුගේ මව වන විහාර මහා දේවිය බව නොකිවමණාය. එසේම බුදු දහමේ චිර පැවත්ම දරා සිටින්නේ ද භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසය. භික්ෂු ශාසනය ලංකාවේ නැතත් දස සිල් මෑණිවරු භික්ෂුවටත් වඩා හොඳින් ආගමානුකූ දිවි පෙවෙතක් ගත කරන බව අපි දනිමු.  භික්ෂූන් හා සසඳන කල ඔවුන්ට එල්ල වෙන චෝදනා ඉතාමත්ම අල්පය. සියළු බෞද්ධාගමික කටයුතු වලදී දැඩි කැපවීමක් සහ සහභාගිත්වයක් දරන්නේ  උපාසිකාවන්ය. බුදු දහමේ උන්නතිය සහ චිරස්තිථිය සඳහා බෞද්ධ කාන්තාව  අතින් අතීතයේදී මෙන්ම අදත් ඉටු වෙන මෙහෙවර  විස්තර කිරීමට නම් පොතක් ලිවිය යුතුය.

ශ්‍රී දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධීන්  වහන්සේ  පූජාර්හ වස්තුන් සේ සාමාන්‍ය ජනතාව සිතුවද අතීතයේ  සිටම රටේ පාලකයන් ඒවා උපයෝගී කරගත්තේ බලය තහහුරු කර ගැනීමටය. ශ්‍රී මහා බෝධිය මුල් කර ගනිමින්  සංඝ බෝධි, බෝධි රාජ , ආදී නම්වලින් රාජ පරම්පරාවක් බිහි වූයේ ඒ නිසාය පසුකාලීනව දළදාව සන්තකයෙහි ඇති තැනත්තාට සිහසුන හිමිවිය යුතු බවට ජන මතයක් ඇති කළේය. ඒ අනුව  රජ කම උදෙසා දළදා වහන්සේ   පැහැර ගැනිමේ සටන් ගණනාවක්ම සිදුව ඇති බව ඉතිහාසය තහවුරු කරයි. කන්දසාමිලා රජවරුන් බවට පත්වූයේ  එහි ප්‍රථිපලයක් හැටියටය. විජේවීරද 88-89 කාලයේ දී දළදාව පැහැර ගැනීමට උත්සාහ කෙළේය. අදත් පංසිල්වත් නොරකින අපේ පාලකයෝ ශ්‍රී මහා බෝධියට සිවුරු පෙරවන්නේත් දළදා වහන්සේට කිරි පිඩු පූජා කරන්නේත්  තමන් සැදැහැති උපාසකයින් බව රටට ඇඟවීමටය.

භික්ෂුවක් ස්ත්‍රියාව සම්බන්ධයෙන් කෙසේ පිළි පැදිය යුතුදැයි පැහැදිලි කරමින්   බුදුන් විසින්  බොහෝ කරුණු කාරනා දේශනා කර තිබේ. ඒ සියල්ල අදාල වන්නේ සසර බිය දැක සසුන් ගත වූ  පැවිද්දන්ටය (මේ පිළිබඳව ඉදිරියේ දී විස්තර කිරීමට අපේක්ෂා කරමු.) එහෙත් බුද්ධ ස්පර්ශය ලද වස්තූන්   හමුවේ ඇය කොතනක  සිටිය යුතුදැයි දේශණාවේ කිසි තැනකත්  සඳහන් නොවේ. කොහොමටත් වෙහෙර විහාරවල සිදු කෙරෙන පුද පූජා විධි බුදු දහමට ඉඳුරාම පටහැනිය. අපි ඒ පිළිබඳව දිගින් දිගටම කථා කර ඇත්තෙමු.  මහනුවර මාළිගාව අනුරාධපුර අටමස්ථානය ඇතුළු අනෙක් කොයි කොයි මර්මස්ථාන වලත් සිදු වන්නේ එකම සංතෑසියමය. දළදා වහන්සේගේ සමහර ගිහි භාරකරුවන්ගේ  දහ බලු කම් ගැන පුන පුනා කීම අනවශ්‍යය යැයි සිතමු. එදා භික්ෂූන්ගේ අසමඟිකම් හමුවේ බුදු රදුන් පාරිලෙයිය වනයට වැඩියා සේ සිය භාර කරුවන්නේගේ  නොතරම් දැක දළදා වහන්සේ ද ආපසු  ඉන්දියාවටම වැඩියාදැයි අපට නම් සැක සහිතය.

විමෙන් ෆෝ ජස්ට් සොසයිටි සභාපතිණි රේණුකා ඩී නාගොඩවිතාන මහත්මිය ඉල්ලා සිටින්නේ අඩුම තරමින් දියවඩන නිළමේ තේරීමේ නිළවරණයේදී චන්දය පාවිච්චි කිරීමේ අයිතියවත්   කාන්තාවන්ට ද ලබා දෙන ලෙසයි . තවදුරටත්  ඇය පවසන්නේ..,

“පුද්ගලයින් හාරසිය දෙනෙකු  වසර දහයකට වරක් පවත්වන නිලවරණයකින් තෝරා ගන්නා මෙම දියවඩන නිලමේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේගේ භාරකරුවා ලෙස සැලකේ. මෙම තනතුර සඳහා නිලවරණය පවත්වන්නේ Buddhist Temporalities Act No. K19 of 1931 යන පනතට අනුව ‍බෞද්ධ කටයුතු කොමසාරිස්ය. ඒ අනුව චන්දය දීමට වර්තමානයේ 400 දෙනෙකු පමණ සුදුසුකම් ලබයි. මෙසේ අයිතිවාසිකම් ලබන්නේ මල්වතු සහ අස්ගිරි පාර්ශවවලට අයත් විහාරස්ථානවල නායක හිමිවරුන්, එම විහාරස්ථානවල භාරකරුවන් (වාර්ෂික ආදායම රුපියල් එක්දහසට වැඩි), දේවාලවල බස්නායක නිලමේවරුන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන් වේ. මෙම දිසාපතිවරුන් අතර අන්‍ය ආගමිකයින් හෝ කාන්තාවන් වෙත්නම් ඒ අයට චන්දය දීමේ අයිතියක් නැත. මෙය බෞද්ධ සිද්ධස්ථානයකට සම්බන්ධ කටයුත්තක් බැවින් අන්‍ය ආගමිකයින්ට චන්දය නොලැබීම සාධාරණය. නමුත් කාන්තාවන්ට චන්දය දීමට අයිතිය නොදීම ඉතා අසාධාරණ ලෙස කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ ව්‍යවස්ථාවේ ලිංගික සමානාත්මතාවය පිලිබඳ පරිච්ඡේදයටද පටහැනිය.“ යනුවෙනි.

(ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල සහ තඹලගමුව ප්‍රාදේශීය ලේකම්  වරුන්ට ද ගෝමරන්කඩවල හුරුළුමිණියාව විහාරපති හිමියන්ටන්ට  ද මෙම නිළවරණයේදි චන්ද බලය හිමි බව  ඌන පූරණයක් ලෙස සටහන් කරමු)

මෙම පනත ප්‍රකාශයට පත්කර ඇත්තේ 1931 දීය. සුද්දා අදත් සිටියා නම් කන්තලේ වැව ආසන්නයේ ඇති පත්නිනි කෝවිලේ කපුවාටත්  දිය වඩන නිළමේ  චන්ද බලය දෙනු ඇත. එහි ප්‍රධාන මාර්ගය පසෙක ඇති පිංකැටයට වැටෙන කාසි ප්‍රමාණය පමණක් දවසකට රුපියල් දහසකට වැඩිය. මෙවැනි යල් පැන ගිය අණ පනත් සංශෝධනය නොකරන්නේ  විහාර දේවාල රැකීමට නොව  කාගෙ කාගේත් බඩ ගෝස්තරය සඳහාම බව කෙළ මෝලෙන් ඇන කිවයුතු නොවේ. නාගොඩවිතාන සභාපති වරිය අයැද සිටින්නේ ප්‍රජාපතී ගෝතමිය බුදු රජුන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියාටත් වඩා සරළ සංවේදී ඉල්ලීමකි. එය දේවදත්තයාගේ “ පංච වරය“ සේ නොසලකා හැරීම වැරදිය.

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38 

---------------------------
by     (2017-10-26 20:39:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Of the numbers 13, 61, one or 50, which is the biggest?

  3 discussion on this news

මෙවැනි යල් පැන ගිය අණ පනත් සංශෝධනය නොකරන්නේ විහාර දේවාල රැකීමට නොව කාගෙ කාගේත් බඩ ගෝස්තරය සඳහාම බව කෙළ මෝලෙන් ඇන කිවයුතු නොවේ.
-- by latha on 2017-10-28

දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරයා ලංකාවෙ ඉන්න අංක එකේ පල් හොරෙක්, ....දන්ත ධාතූන් වහන්සේටයි සාධු ගොයියලාටයි මාර ගෞරවයක් තමයි!
-- by සිංහලේ on 2017-10-28

බර හෑල්ලු කර ගන්න ඕන උනාම නං උපාසක තුමාලටයි සාධු තුමාලටයි ගෑණු හමක් උනත් රත්තරං!
-- by Evans perera on 2017-10-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more