නාසා ආයතනයේත් ශ්‍රී ලාංකික බුද්ධිමතුන් සේවය කරනවා: කිසිදු බලවේගයකට උදුරා ගත නොහැක්කේ දැනුමයි

- කතානායක ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මාන උළෙලේ දී

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.24,  පෙ.ව‍‍‍.9.25) ඇමරිකාවේ නාසා ආයතනයේ පවා ශ්‍රී ලාංකික බුද්ධිමතුන් සේවය කරන බවත්,  අපේ ශරීර ශක්තිය. රූපය, සොබා දහම විසින්ම අපට යම් දිනක අහිමි කරන අතර ධනයත් බලයත් ඒ වාගේම අහිමි වන නමුත් කිසි දිනෙක අප ලබා ගත් ශිල්ප ඥානය කිසිදු බලවේගයකට උදුරා ගත නොහැකි යයිද එම ඥානය ලබා දෙන්නේ ගුරුවරුන් බවද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

විෂය කරුණු පිලිබඳ දැනුම මෙන්ම දරුවන් නිවැරදිව හඳුනා ගැනීමේ දැනුමද ගුරු මව් පියවරුන් සතු විය යුතු බවත් එලෙස අවබෝධයෙන් යුතුව කැපවන ගුරුවරුන් අතීතයේදී ගුරුදෙවියන් ලෙස හැඳින්වූ බව ද කථානායකවරයා පැවසීය.
 
කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ  (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ජාතික ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහිදී හෙතෙම පෙන්වා දුන්නේ අප රට තුල ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනයේත්, නිදහස් සෞඛ්‍ය සේවයේත් අගය දැනෙනුයේ වෙනත් රටවල් සමග සසඳන කල බවත්, එය මෙරට ජනතාව ලද මහත් භාග්‍යයක් වන බවත්ය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා

ගුරුනට ලැබිය යුතු ගෞරවය හා පිළිගැනීම ශක්තිමත් කිරීම  අපගේ යුතුකමක්. අප සමාජයේ දෙමාපියන් ළඟට පිළිගැනිම හා ගෞරවය ලැබෙන්නේ ගුරු පරපුරටයි. විවිධ සමාජ හේතූන් නිසා මෙහි වෙනස්කම් ඇති වුවත්, යහ සමාජයක් තුළ මෙම ගරුත්වය අප ලබා දිය යුතුයි.  මා ඉපදුන  සමාජය තුළ ගුරුන් සැලකුවේ දේවත්වයෙනි. හැඳින්වූයේ ගුරු මෑණිවරු / පියවරු ලෙස. ඔවුන් තුළ තිබුණේ දරුවන් කෙරෙහි විශාල ආදරයක් හා ලෙන්ගතුකමක්. තමන්ගේ දරුවනට සමානව සැලකුවා. පාසල් වේලාවට පසුවත් තමන්ගේ කාලය / ශ්‍රමය දරුවන් වෙනුවෙන් මිඩංගු කළා. දෙමාපිය / දරු සම්බන්ධය හා ගුරු සිසු ආකල්ප වෙනස් වී තිබෙනවා.
 
සමහර විට ගෙදරින් නොලැබෙන සෙනෙහස දරුවනට ලබා දීමට ගුරු වෘත්තියේ ඔබට සිදුවෙනවා.  අපි ජිවත්වන්නේ නවීන ලෝකයක / නවීන තාක්ෂණය සමග අධ්‍යාපනය සකස් විය යුත්තේ මිලියන 21 ක් තිබෙන ලංකාවේ ජනගහනය සඳහා නොව ලෝක රැකියා වෙළඳපලට ලෝකයත් සමග තරඟ කළ හැකි ලෝක පුරවැසියන් බිහි කිරීමේ වගකීම අද ගුරුවරුනට තිබෙනවා.
 
ලෝක පුරවැසියන් ලෙස පුළුල් රාමුවක් හදා ගන්න දරුවන්ගේ දැක්ම පුළුල් කරන්නට අවශ්‍යයි. එය ඔබගේ යුතුකමක්. අද ලෝකයේ බලගතු ආයතනවල ඉහළ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා.  ඇමෙරිකාවේ නාසා ආයතනය ඉන් එකක්.  ඇමෙරිකාවේ ආර්ථිකයට විශාල ප්‍රගතියක් ලබා  දෙන්නේ ඉන්දියානු ජාතික බුද්ධියෙන් මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි.   රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමා වශයෙන් සිටියදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කර, අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි නව සංකල්පයක් ලබා දුන්නා. අවශ්‍ය පුහුණුව ගුරු වෘත්තියට ලබා දුන්නා. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා.
 
එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් අධ්‍යාපනයට විශාල පිළිගැනීමක් හා සම්පත් ලබා දී තිබෙනවා. වර්තමාන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මැතිතුමා තරුණ අමාත්‍යවරයෙක් වශයෙන් විශාල අභියෝග රැසකට මුහුණ දී අමාත්‍යාංශය අනාගතයට සරිලන අන්දමින් නිර්භීත තීන්දු ගෙන අලුත් මඟකට ගෙන යමින් තිබෙනවා.
 
රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් මැතිතුමා, ලේකම් -සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය එකමුතුව හා කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම තුළ විශාල සාර්ථකත්වයක් ලබා දී තිබෙනවා. ඒ ගෞරවය මා සියළු දෙනාට පුද කරනවා.

එමෙන්ම, අද උපහාර ලබන ගුරු මෑණිවරුනට හා පියවරුනට මාගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. අනාගතයේදී විදුහල්පතිවරුනට හා ආචාර්ය මණ්ඩලයට, ගුරු වෘත්තියට අමතරව හොඳ කළමනාකාරිත්වයක් ලබා දීමට සිදු වෙනවා. අමාත්‍යාංශයේ අලුත් හා ඉතා වැදගත් සංකල්ප ඉදිරියට ගෙන යාමට හා එහි සාර්ථකත්වයට මෙම කළමනාකාර ශක්තිය සෑම ගුරු භවතෙකුටම අවශ්‍ය වෙනවා.

ලඟම පාසල හොඳම පාසල සංකල්ප ක්‍රමයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කර ගනිමින් තිබෙනවා.පාසල් සිසුන් වෙනුවෙන් ලබා දී ඇති රක්ෂණ ක්‍රමය ඉතා වැදගත් ක්‍රියාදාමයක්. එයින් දෙමාපියනටත්, සිසු දරුවන්ටත් විශාල සහනයක් ලැබෙනවා. මෙහි වටිනාකම ඉතාමත්ම විශිෂ්ටයි. මෙවැනි වැදගත් ආවරණයක් ලබා දීම ගැන ජනපති / අගමැති ඇතුළු රජයට මාගේ ගෞරවය පුද කරනවා.  මෙය සාර්ථක කර ගැනීමට ඇමතිතුමා ප්‍රමුඛ අමාත්‍යාංශයට පමණක් තනිවම බැහැ.

රක්ෂණ සහන පතන ලක්ෂ ගණන් සිසු සිසුවියන් ඉදිරියේදී ඔබ වෙත පැමිණේවි. ඒ අයගේ ඉල්ලීම් ක්ෂණිකව ඉටු කර දීම ඔබගේ යුතුකමක්.  දරුවන්ගේ නාමයෙන් සියළු දෙනාම ඒ සඳහා කැපවිය යුතුයි.

මෙම වැදගත් උත්සවයට සහභාගි වීමට හැකි වීම ගැන මා අතිශයින් සතුටු වෙනවා. එමෙන්ම කළ සේවය අගයමින් පිදිය යුත්තන් පිදීම මාගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ සියළු දෙනාට මා දිගාසිරි පතනවා.

අපේ ශරීර ශක්තිය. රූපය, සොබා දහම විසින්ම අපට යම් දිනක අහිමි කරනවා. ධනයත් බලයත් ඒ වාගේමයි. නමුත් කිසි දිනෙක අප ලබා ගත් ශිල්ප ඥානය කිසිදු බලවේගයකට උදුරා ගත නොහැකියි. ඒ උතුම් වගකීම ඉටු කරන්නේ ඔබයි.

අපි ඇමතිතුමා කෙරෙහිත්, එතුමාට පූර්ණ කැපවීමෙන් සහාය දෙන රාජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය කෙරෙහිත් අපේ විශාල බලාපොරොත්තුවක් හා විශ්වාසයක් තිබෙනවා. රටට දැයටත්, විශ්වයටත් සේවය කළ හැකි අනාගත පරපුරක් බිහි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.

ගුරු ප්‍රතිභා ප්‍රභා උළෙළ අමතමින් අදහස් දැක්වූ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

විදුහල්පතිවරු හා ගුරුවරුන් කියන්නේ දෙමාපියන් හැරුනු කොට අපේ ජීවිත වෙනුවෙනුත් වැඩිම කැපවීමක් කළ අය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම  වෘත්තිය ගුරු වෘත්තියයි. ගුරුවරයෙක් දඬුවමක් දුන්නහම දඬුවමට ලක් වූ දරුවාට හිතෙනවා නම් මාව හදා ගන්නයි මේ දඬුවම දුන්නේ කියලා ඒ ගුරුවරයා සාර්ථකයි. හැබැයි ලමයට එහෙම හැඟෙන්නේ නැත්නම් අසාර්ථකයි.

අපේ ජීවිතවල සදාතනික මතක සටහන් බවට පත් වූ ගුරුවරුන් සිටිනවා. කාලය වෙලාව වැටුප සහ කිසිවක් නොසිතා සේවය කළ උතුම් වෘත්තියක් ලෙස සිය රුකියාවේ යෙදුනු ගුරුවරු අද උපහාර ලබනවා. දෙලක්ෂ පනස් දහසක් පමණ ගුරුවරු අතරින් ඉදිරියේදී තව දුරටත් ගුරුවරුන් වෙනුවෙන් එම වෘත්තිය රටේ පවතින වැදගත්ම වෘත්තිය බවට පත් කරමින් දැනුම සහ භෞතික සම්පත් ලබා දීමට අපේක්ෂා කරනවා.

පසුගිය වසර තුල රුපියල් බිලියන දෙකකට වඩා ගුරුවරුන්ගේ පුහුණුව සදහා ලබා ගැනීමට මෙන්ම ඉතිහාසයේ  වැඩිම ගුරුවරු පිරිසක් විදේශ පුහුණුවට යොමු කළ බව ද ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය කවර අභියෝග ආවත් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ද මෙහිදී ඇමතිවරයා පැවසීය.

---------------------------
by     (2017-10-24 03:57:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more