~

විනිසුරු-නීතිඥ ගැටුම රත් වේ: නීතිඥ සංගම් නිලවරණය කල් දමයි: ඒත් විනිසොරුන් හතර පස් දෙනාගේ ජාතිවාදය පරදවන බව නීතිඥ ප්‍රජාව කියයි

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.21, පෙ.ව‍.7.45) අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය කල් දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ දිසා විනිසුරුවරුන් සහ ඉන් පහළ විනිසුරුවරුන්ගේ සංගමය වූ අධිකරණ සේවා සංගමය (JSA) විසින් නිලවරණයට අදාල සේවා සැපයීමෙන් ඉවත් වීමයි. නීතිඥ සංගමයේ නිලවරණය රට පුරා ඡන්ද මධ්‍යස්ථාන හතලිස් ගණනකදී පැවැත්වෙන අතර ඡන්දය ගණන් ගැනීම සඳහා අධිකරණ සේවා සංගමයෙන් විනිසුරුවරුන් යොදවයි. අද  නිලවරණය කල් දැමීමට සිදුව ඇත්තේ JSA විසින් මෙම සේවය නොසැපයීමට තීරණය කිරීම නිසාය. 

JSA හි මෙම විරෝධතාවයට හේතු වූයේ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමත් ඊට නීතිඥ සංගමයේ අනුමැතිය ලැබීමත් යන කාරණය ය. එම පත්වීම කෙසේ සිදුවීද යන්න ගැන ලංකා ඊ නිව්ස් “විනිසුරුවරුන්ගේ සංගමය අසත්‍ය කියා මහජනයා නොමග යවලා..! නීතියටත් විරුද්ධයි..! -ජනපතිට යැවූ ලිපිය ගැන හිටපු සභාපති විනිසුරුගෙන් පිළිතුරු“ මැයෙන් හිටපු JSA සභාපති විනිසුරුවරයෙකුගේ විග්‍රහයක් පළ කළ බැවින් යලිදු ඒ ගැන විස්තර නොකරමු. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයද, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයද ඊයේ ඒ සම්බන්ධයෙන් නිවේදන 2 ක් නිකුත් කර තිබූ අතර එ්වායේද සඳහන් වූයේ රාමනාදන් කන්නන් මහතාගේ පත්වීමේ ඇති නීත්‍යානුකූල භාවයත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති විරෝධීව හෝ සම්ප්‍රදයාට විරුද්ධව කටයුතු කර නොමැති බවත් ය. (එම නිවේදන ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ දැක්වේ)

උපකාරයට අපකාරය

ඒ කිසිවක් අධිකරණ සේවා සංගමය පිළිගන්නේ නැත. ඔවුන්ගේ විරෝධය මේ වන විට ජාතිවාදී පදනමකින් යුක්තය. එනම් TNA සංවිධානය විසින් ඔහුගේ නම යෝජනා කළා යයි කියමින්ම විරෝධය පාන බව පෙනී යයි. නමුත් TNA එවැනි යෝජනාවක් කර නැති බව පුන පුනා නීතිඥ සංගම් පවසයි.

අපූරුව වන්නේ එජාපය හෝ ශ්‍රීලනිපය හෝ එවැනි නමක් යෝජනා කළා නම් මොවුනට ප්‍රශ්නයක් නොවන එකය. ඊට උදාහරණ කොතෙකුත් ඇත. පසුගිය රාජපක්ෂ යුගයේදී මහාධිකරණ විනිසුරුවරුන් නොව අගවිනිසුරුවරයා ලෙස පවා බැංකුවක සභාපති ධූරය දරමින් සිටි පුද්ගලයෙකු පත් කරද්දී මේ පිරිස දෙමුඛ වසා නගුට දෙපරහැන්දේ ගසා ගෙන සිටියහ. එකල ඒ අවනීතියන්ට එරෙහිව දිවි නොතකා පාරට බැස්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මිස අන් කවරෙකු හෝ නොවේ. සත්‍ය වශයෙන්ම නීතිඥ සංගමය සටන් කෙළේ විනිසුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය වෙනුවෙනි. නීතියේ ආධිපත්‍යය වෙනුවෙනි. යුක්තිය පසිඳලීමේ සාධාරණ භාවය වෙනුවෙනි. නමුත් අද මේ විනිසුරුවරුන් ඊට ප්‍රතිඋපකාර කර ඇත්තේ නීතිඥ සංගමයේ නිලවරණයට දායක නොවීමෙනි.

ජඩකමට තෙල් දැම්මේ ඩීල්දාස

විනිසුරුන්ගේ JSA විරෝධයට සමග අත් වැල් බැඳ ගන්නා පිරිස දුටුවිට පුදුමය. තම මලයාගේ ගසා කෑමකට අගවිනිසුරුවරියක් විරුද්ධ වූ නිසා, ඇයට එරෙහිව  9 වෙනි ශ්‍රේණිය සමත් උන් ලවා එක රැයෙන් නඩු අසා පන්නා දමා තම පිලිකන්නේ සිටි බැංකු සභාපතිවරයෙකු අගවිනිසුරු ධූරයට පත් කළ මහින්ද රාජපක්ෂ අද JSA සමග අත්වැල් බැඳගෙන රාමනාදන් කන්නන් පත් කිරීම වැරදි යයි කියයි. මෙය ඇසූ දුටු විට අධෝ මුඛයෙන් සිනා පහල නොවන්නෙක් සිටී නම් ඔහු අධෝමුඛයක් නැති නැති යකෙක් විය යුතුය. 

පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව පරදවන මෙම JSA හි විරෝධතාවයට තෙල් සපයා තිබෙන්නේ අන් කිසිවෙක් නොව තමා ඇමැතිධූරයේ සිටින තුරු ගෝඨාභය අත් අඩංගුවට ගන්න දෙන්නේ නැතැයි කී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාසය. TNA සංවිධානය විසින් ඔහුගේ නම යෝජනා කළාය යන අමු පට්ට පල් බේගලය දෙසා බා JSA නොමග යවා තිබෙන්නේ ඔහු බව JSA ජනාධිපතිට යැවූ ලිපියේම දැක්වේ. අධිකරණ සේවා කොමිසමේ (JSC) එක් ජාතිවාදීව සිතන විනිසුරෙකුද JSA වෙත කිසියම් සහායක් දක්වන බව පෙනී යයි.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාවේ මෙන්ම මෙහිද අන්තවාදී ලෙස කටයුතු කරන්නේ නිලධාරී විනිසුරුවරුන් 5-6 දෙනෙකු පමණි. අනෙක් බහුතරය ඊට එකඟ නැත. විශේෂයෙන්ම මහාධිකරණ, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිසිවෙකු JSA සංවිධානය නීතිඥ සංගමයේ නිලවරණය කඩා කප්පල් කිරීමට කරන ලද ක්‍රියාව කිසිසේත්ම අනුමත කරන්නේ නැත.

නීතිඥ ගමන ඉදිරියටම

JSA හි කඩා කප්පල් කිරීම පරාජය කර නීතිඥ සංගමය තම නිලවරණය පැවැත්වීමට යන බවද මෙම ලිපිය ලියන අවස්ථාව වන විට දැන ගන්නට ලැබී ඇත. ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථාන 40 ගණනකට යෙදැවීම සඳහා JSAට අයත් නොවන මහාධිකරණ විනිසුරුවරුන් ගණන මදි බැවින් අධිකරණය පිළිගන්නා වැඩ බලන මහේස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන නීතිඥවරුන් යොදවා නිල පිලිගැනීමක් සහිත නිලවරණයක් පැවැත්වීමට නීතිඥ සංගමය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

අවසන් වශයෙන් කිව යුත්තේ අන්තවාදී සුළු විනිසුරුවරුන් පිරිසක් නිසා JSA සහ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය අතර ඇති වූ තුවාලය කලකින් සුව නොවනු ඇති බවයි. නමුත් අනාගතයේදී ඉන් වැඩියෙන් පීඩා විඳිනු ඇත්තේ නීතිඥවරුන් නොව විනිසුරුවරුන් බවද සටහන් කර තැබිය යුතුය. අප එසේ අනාවැකි කියන්නේ අන් කිසිවක් නිසා නොව විනිසුරුවරුන් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවද අමනාප කරගෙන සිටින බැවිනි. 

විමල් ධීරසේකර විසිනි


සබැඳි පුවත්
විනිසුරුවරුන්ගේ සංගමය අසත්‍ය කියා මහජනයා නොමග යවලා..! නීතියටත් විරුද්ධයි..! -ජනපතිට යැවූ ලිපිය ගැන හිටපු සභාපති විනිසුරුගෙන් පිළිතුරු

විනිසුරුවරුන්ට දුන් පොරොන්දු කැඩීමක්..! විශ්වාසය පළුදු වීමක්..!! විනිසුරුවරුන්ගේ සංගමය ජනපතිට විරෝධය පාති

---------------------------
by     (2017-02-21 02:37:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links