~

කොළඹ සරසවියේ උප කුලපති කුමාර හිරිඹුරේගමට ඉල්ලා අස්වන්නැයි අප බල කරන්නේ ඇයි ? කොළඹ සරසවියේ ආචාර්ය සංගමය

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.21, ප.ව.9.20)  කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය හිරිඹුරේගම මහතා තම තනතුර පිළිබඳව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ වන  විශ්වාසය දැඩි ලෙස බිඳ දමා පවතින බැවින් කොළඹ විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වනවිට වසර එක හමාරකටත් වැඩි කාලසීමාවක් පුරා ඔහුට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පවතින අතර මේ වන විට එය එහි කුඨප්‍රාප්තියට ළඟා වී ඇත. 

පසුගිය ජනවාරි 21 වන දින ඔහුට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් එල්ල කෙරෙන චෝදනා සහිතව, ඔහු සිය තනතුරින් වහා ඉල්ලා අස්වියයුතු බවට ලිපියක් කොළඹ විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ඔහු වෙත යොමු කෙරුණු  නමුත් ඔහු කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් පසුගිය 12 වන දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරිණි. ඊට ද උපකුලපතිවරයා විසින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් පසුගිය 19 වෙනිදා පෙරේදා එක්දින සංකේත වැඩවර්ජනයක් සහ අධ්‍යයන අනධ්‍යයන සේවක ප්‍රජාවේ ඒකාබද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදී

උපකුලපතිවරයාට සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව වෙතින් එල්ල කෙරෙන චෝදනා පහත පරිදි සාරාංශ කළ හැකිය:

1. ආචාර්ය කුමාර හිරිඹුරේගම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා නුසුදුස්සෙකු වීම.

වත්මන් උපකුලපතිවරයා එම ධුරය සඳහා ඉදිරිපත් වූ ආචාර්යවරුන් අතරින් අවම සුදුසුකම් සහිත පුද්ගලයාවූ අතර උපකුලවතිවරණයේ දී පාලක සභාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ආචාර්යවරයා වෙනුවට එවක ජනාධිපතිවරයා විසින් හුදු දේශපාලන හිතෛෂීවන්ත භාවය මත ඔහු එම තනතුරට පත්කළේය. ඊට අප සමිති සම්මේලනය මෙන්ම විශ්වවිද්‍යාලයිය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද දැඩි ලෙස විරුද්ධ වූ අතර සමස්ත විශ්වවිද්යාලම දේශපාලනීකරණය කිරීමේ අරමුණින් රාජපක්ෂ පාලනය විසින් දේශපාලන ගත්තෙකු ලෙස ඔහු උපකුලපතිධුරය සඳහා පත් කළේය.

එසේම ඔහු උපකුලපතිධුරට පත්කිරීම සඳහා එවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය වූ ඔහු ගේ භාර්යාව වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම පෙනීසිටි අතර එය පිළිගත් ආචාරධර්ම වලට පටහැනි සහ අභිමත ගැටුම්වලට (Conflict of Interests) හේතුවිය හැකි බව අප සම්මේලනය එවක පෙන්වා දුන්නේය.

2. විශ්වවිද්‍යාලය   ඒකාධිපති සහ අත්තනෝමතික පරිපාලනයකට යටත් කිරීම:

වත්මන් උපකුලපතිවරයා එම තනතුරට පත්වී දැනට මාස විස්සක පමණ කාලයක් ගතවී ඇති අතර එම කාලසීමාව තුල විශ්වවිද්‍යාල පනතට හා නීතිරීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටියි.  තමන් මෙන් ම අඩු සුදුසුකම් සහිත සහ තමන්ට හිතවත් පුද්ගලයන් අධ්‍යයන පරිපාලන තනතුරු සඳහා පත්  කිරීම එක උදාහරණයකි. මෙම පත්කිරිම්වලින් ඇති බහුතරයක් වැඩබලන තනතුරුවන අතර එමගින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකාර්යක්ෂම සහ අකර්මණ්‍ය කර ඇති අතර  ඇතැම් පත්කිරීම්වලට එරෙහිව මේවන විට අධිකරණ ක්‍රියාමාර්ග පවා දියත් වෙමින් පවතී.

එසේම තමන්ගේ මත නොඉවසන ආචාර්යවරුන් ගෙන් පමණක් නොව ඔවුන් ඇතුළත් අධ්‍යයන අංශවලට ද බලපෑම් එල්ල කරන උපකුලපතිවරයා විවිධ අභූත හේතු මත තාවකාලික කථිකාචාර්ය තනතුරු සඳහා බඳවාගැනීම් සම්පුර්ණයෙන් ම නවතා ඇත. 

ඊට අමතරව  ඉහළ පරිපාලන තනතරු සඳහා තමන්ට හිතවත් පුද්ගලයන් පත්කර ඇති අතර ඒ හේතුවෙන් සුදුසුකම් සහිත පිරිස් දැඩි කළකිරීමට සහ කනස්සල්ලට පත් වී ඇත. එසේම  ඉතා ඉහළ දීමනා මත විශ්‍රාමික සේවකයන් බඳවාගෙන තිබේ. මෙම බඳවා ගැනීම් පිළිබඳව  කොප් වාර්තාවෙන් පවා ප්‍රශ්න කෙරී ඇත.

3.මුල්‍යමය වංචා :

වත්මන් උපකුලපතිවරයාට එරෙහිව විවවිද්යාලයිය මුදල් අවභාවිතය පිළිබඳව මුල්‍ය චෝදනා එල්ලවී ඇති අතර ඇතැම් චෝදනා සම්බන්ධ පැමිණිලි අල්ලස් හා දුෂණ කොමිසම වෙත ද ඉදිරිපත් කෙරී ඇත. එසේම විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාගයක් ලෙස හිමි වූ කොළඹ 07 හි පිහිටි සුපිරි නිවසක් ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා යොදවනු වෙනුවට තමන්ට හිතවත් විදේශිකයන් ගේ පරිහරණය සඳහා බදු දී ඇත.
 
4. ශිෂ්‍ය ගැටලු විසඳීමට අපොහොසත්වීම:

 ශිෂ්‍යයන්ගේ සුභසාධන හා අධ්‍යයන ගැටලු  විසඳීමට කිසිඳු පියවරක් ගෙන නොමැති උපකුලපතිවරයා ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාර සහ වෙනත් ගැටලු විසඳීමේ උපක්‍රමය ලෙස විශ්වවිද්‍යාලය අත්තනෝමතික ලෙස වසා දැමීමට කටයුතු කරයි. ආචාර්ය මණ්ඩලය හෝ ශිෂ්‍යයන් සමග කිසිඳු සාකච්ඡාවකින් තොරව ශාස්ත්‍ර පීඨය මාස තුනක් අත්තනෝමතික ලෙස වසා දැමීම එක උදාහරණයකි. 

එසේම ශිෂ්‍ය විනය හා සම්බන්ධ ගැටලු  විසඳීමේ දී උපකුලපතිවරයා කිසිදු විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇති අතර  හුදෙක් ශිෂ්‍යයන් අපහාසයට ලක්කිරීම හෝ අපහසුතාවට ලක්කිරීම මගින් ගැටලු විසඳීමට උත්සdහ ගනියි.

මෙකි චෝදනා මත සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම උපකුලපති තනතුර සඳහා වන ගෞරවය සහ උපකුලපතිවරයා පිළිබඳව වන විශ්වාසය බිඳවැටී ඇති අතර මේවන විට විශ්වවිද්‍යාල සනාතන සභාව විසින් ද ඒ පිළිබඳ යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබේ. එබැවින් විශ්වවිද්‍යාලයේත් උපකුලපති තනතුරෙත් ගෞරවය සහ විශ්වාසය ආරක්ෂා කර වහාම සිය තනතුරෙන් ඉල්ලා අස්වනලෙස අපි ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට බලකර සිටිමු. එසේ නොමැති වුවහොත් ඉදිරියේදී සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව ම සමග දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශ කර සිටිමු.

කෙළඹ සරසවියේ ආචාර්ය වරුන්ගේ සංගමය 
Colombo University Federation of Teachers’ Associations (CUFTA)

---------------------------
by     (2015-02-21 16:12:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links