~

වවුලාගේ මගුල් ගෙදරින් කකා හිටිය සන්ඩේ ලීඩර් කර්තෘවරියට එක්වරම තමන් ඉන්නේ ඔලුවෙන් බව තේරිලා

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.20, ප.ව.9.15) රාජපක්ෂ පුත්තුන්ගේ රගර් පුහුණු කරු පත්තර කන්තෝරුවක් සල්ලි වලට ගත්තේ ය. ලංකාවේ පත්තර කන්තෝරුවක්ම සල්ලි වලට ගත හැකි වූ එකම රගර් පුහුණු කරු රාජපක්ෂ පුත්තුන්ගේ රගර් පුහුණුකරු වූ අසංග සෙනෙවිරත්න පමණකි. සල්ලි වලට ගත්තේද නිකම්ම පත්තර කන්තෝරුවක් නොවේ. රාජපක්ෂලා විසින්ම ප්‍රකාශක - කර්තෘ වූ මල්ලී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් පසු ප්‍රකාශක අයියා ලාල් වික්‍රමතුංග නමැති හිටපු රහස් පොලිස් නිලධාරියා සමග ඩීල් එකක් දමා සන්ඩේ ලීඩර් පත්තර කන්තෝරුව සල්ලි වලට ගත්තේ අසංග සෙනෙවිරත්නගේ මුදල් යොදවාද රාජපක්ෂලාගේම මුදල් යොදවාද යන්න දන්නෝ දනිති. 

මේ කිසිවක් ගැන නොදන්නා එක් පත්තර කර්තෘ වරියක් සිට ඇත. ඒ නම් අසංග සෙනෙවිරත්න මිලදී ගැනීමෙන් පසු සන්ඩේ ලීඩර් කර්තෘ වරිය වූ සකුන්තලා පෙරේරා මහත්මියයි. රාජපක්ෂලා බලයේ සිටින තුරු ‘මයිනා මලා‘ සේ රාජපක්ෂලාගේ කිසිදු වරදක් නොදුටු ඇය හදිසියේම මරා පරාජයෙන් පසු පසුගිය රජය යටතේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව 'ෆ්ලයින් හයි විත් පබ්ලික් ෆන්ඩ්ස්' (Flying high with Public Funds) හා 'ද ෆෝ බිලියන් කම්පියුටර් ස්කෑම්' (The Rs. 4 Billion Computer Scam) මැයෙන් ලිපි දෙකක් පළ කළාය. 

ඉන්පසු රාජපක්ෂ මුදලින් දුවන සමාගමේ කළමනාකරුවෝ ඇයට එවැනි ලිපි පල නොකරන්නැයි දැනුම් දී තිබේ. ඇය දැන් මහා වීරවරියක් සේ පුවත්පතින් ඉල්ලා අස් වී ඇත. තමන් මෙතෙක් කල් පඩි කෑවේ කාගේ මුදලින්දැයි ඇය නොදැන සිටියා නම් ඇය කතුවරියක් නොවේ. දැන් ඇය වීරවරියක් වන්න හදන්නේ ඇයිදැයි නොදන්නවා නම් අනෙකුත් අය කතුවරුන් මාධ්‍යවේදීන් නොවේ. 

කෙසේ වෙතත් ඇයට ලිවීමේ නිදහස තිබිය යුතුය. ඇයටද ඊට සරිලන මාධ්‍යයක් තෝරා ගැනීමට තරම් අවංක භාවයක්ද තිබිය යුතුය. වවුලාගේ මගුල් ගෙදරින් කා බී එන අතරේ ‘මං කෑවේ ඔලුවෙන් හිටගෙන‘ යැයි ආලාප නර්මාලාප දෙඩෙව්වාට චූන් වෙන්නේ වැදගත් වැඩක් නොකරන මාධ්‍ය සංවිධාන සොච්චම පමණි.

හැකිනම් කතුවරියන්ද මාධ්‍ය සංවිධානද එක්ව රාජපක්ෂලා වසර 10 ක් මුළුල්ලේ කළ ඝාතන, සොරකම්, වංචා, මහා පරිමාණ දූෂන ගැන සොයා උන්ගේම පත්තර අස්සේ ගහන්න යන්නේ නැතිව මහජනතාව සමග එක්ව එක හරි හමන් වැඩක් කිරීමට ඉටා ගත යුතුය. සැලසුම් කළ යුතුය. එය අවසානයක් දක්වා ගෙන යා යුතුය. 

එසේ නොමැතිව තමන්ගේ වාසියට හරවා ගත හැකි තත්ත්ව නිර්මාණය කරමින් නව ආණ්ඩුවේ තනතුරු සඳහා අවශ්‍ය සූදුසුකම් සපුරාගැනීමට මාන බලනවා නම් ඉන් තමන්ට සුගතියක් වනවා මිස රටේ ජනතාවට නම් සුගතියක් වන්නේ නැත. 

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර මහතා ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

සන්ඩේ පාලනාධිකාරීය කර්තෘ මණ්ඩල නිදහසට සිදුකළ බලපෑම් හෙළා දකිමු.

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ සකුන්තලා පෙරේරා මහත්මියට තම වෘත්තීය කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකිවන ආකාරයට ලීඩර් පාලනාධිකාරිය විසින් දිගින් දිගටම එල්ල කළ මාධ්‍ය ආචාර ධර්ම විරෝධී බලපෑම් හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවීම පිලිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලවත් කනස්සල්ල පළ කරන අතරම, ලීඩර් පාලනාධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින්නෙමු.

සකුන්තලා පෙරේරා කතුවරියට මේ ආකාරයට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ රාජපක‍්ෂ පාලනයේ දූෂිත බව හෙළිදරව් වන ලිපියක් පළකිරීම හා එසේ නොකරන ලෙසට පාලානාධිකාරිය කළ දැනුම්දීමට එකඟ නොවීම හා පුවත්පතේ පළකරන ගවේෂණාත්මක ලිපි හා පුවත් පළ කිරීමට පෙර පාලනාධිකාරියට යොමු කර  අනුමැතිය ලබාගන්නා ලෙස කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මාධ්‍ය කර්මාන්තය හුදෙක් අනෙකුත් කර්මාන්තයන්ට වඩා අතිශයෙන්ම වෙනස් වන්නේ එය රටක ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා අයිතීන් හා නිදහස සමග ඍජුවම බැඳි පවත්නා හෙයිනි. ජනතාවට තොරතුරු දැනගැනීමේ හා ජනතාවගේ අදහස් සමාජගත කිරීමේ ක්‍රියාවලියක නිරත වන මාධ්‍ය කර්මාන්තය මහජනතාවගේ සුභසිද්ධියට හේතු වන හා ජනතාවගේ සමාජ, දේශපාලන, සංස්කෘතික හා පොදු දැනුම වර්ධනය කිරීම සඳහා තොරතුර සපයන සහ ඒ අනුව ජනමතය හැසිරවිමේ තීරණාත්මක කාර්යභාරයක නිරතවේ.

එහිදී අයෝජකයාගේ මුදල් හා දේශපාලන ලැදියාවන්ට අනුගතව කටයුතු කිරිම කර්තෘ මණ්ඩලයේ අනිවාර්ය වගකීමක් යයි සන්ඩේ ලීඩර් පාලනාධිකාරිය නිගමනය කර කටයුතු කළ ආකාරයක් පෙනී යන අතර, ඒ මගින් ඔවුන් ප්‍රද්ර්ශණය කර ඇත්තේ නූතන ලෝකය ගරු කරන මධ්‍ය සංස්කෘතියෙන් ඔවුන් කෙතරම් දුරස් පිරිසක් මෙන්ම පසුගාමී පිරිසක්ද යන්නය.

කර්තෘ මන්ඩල නිදහස අවමානයට ලක්කරමින්ද, එවැනි තත්ත්වයක් උදාකිරීම මගින් සන්ඩේ ලීඩර් ප්‍රධාන කතුවරියට තම වගකීම නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා කරමින් ඉල්ලා අස්වීම සඳහා කළ පීඩනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉතා පිළිකුලෙන් යුතුය හෙළා දකින්නෙමු. එමෙන්ම තම වෘත්තීය ගරුත්වය ආරක‍ෂා කිරීමට පෙරට ඒම පිළිබඳව සහ මාධ්‍ය සංස්කෘතියක් පිලිබඳව අවබෝධයක් හෝ හැඟීමක් හෝ ගරුත්වයක් නොමැති, “කලූ මාධ්‍ය ආර්ථීකයේ “ යථා ස්වාභාවය රටට හෙළිකිරීම පිළිබඳව සකුන්තලා පෙරේරා කතුවරියට අපගේ ආචාරය හිමිවේ.

---------------------------
by     (2015-02-20 18:57:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links