~

ත්‍රිමලයේ ‘ගෝඨා කඳවුර‘ නමින් රහසිගත කඳවුරක තවමත් 700 කට අධික පිරිසක් රහසිගතව රඳවලා

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.20, ප.ව.9.00) ත්‍රිකුණාමළයේ නාවික හමුදා කඳවුරක ‘ගෝඨා කඳවුර‘ නමින් හැඳින්වූ රහසිගත කඳවුරක දෙමළ වැසියන් 700 ක් සහ දෙමළ පවුල් 35 ක් වෙන වෙනම රඳවා සිටි බවට තමන්ට ඉතා විශ්වාසදායක පුද්ගලයින්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් ඒ බව 19 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරගැනීමේ අරමුණින් යැයි දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.

මන්ත්‍රීවරයාට තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන් කළ සම්පූර්ණ විස්තර මොනවාදැයි කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් සතුව ඇති සියලු තොරතුරු ජනමාධ්‍යට හෙලි කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් රහසිගතව රඳවා ගෙන සිටි පිරිසට නාවික හමුදා ට්‍රක් රථ මගින් ආහාර පාන සැපයූ අන්දම තමන්ට තොරතුරු සැපයූ පුද්ගලයින් විසින් විස්තර කළ බව කී මන්ත්‍රීවරයා එම පුද්ගලයින් නිදහස් කළේද? එසේත් නොමැතිනම් ඔවුන්ට සිදුවූයේ කුමක්ද? යන්න ගැන වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවද කියා සිටියේය.

රහසිගත කඳවුරේ රදවා සිටි පුද්ගලයින් වෙන වෙනම රඳවා සිටි අතර ඔවුන්ට එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට කඳවුර බාර නිලධාරීන් ඉඩ නොතැබූ බවද තමන්ට තොරතුරු සැපයූ පිරිස කියා සිටි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අන්දමට පවත්වාගෙන ගිය තවත් කඳවුරු ඇති බවට දෙමළ වැසියන් තුල විශාල සැකයක් පවතින බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පැවසූ පරිදි යුද සමයේදී අතුරුදහන් වූ බවට සැක කෙරෙන 140000 කගේ කතාව සත්‍ය යැයි පිලිගැනීමට මෙවැනි රහසිගත රැඳවුම් කඳවුරු සාධකයක් වන බවද කියා සිටියේය.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව කරුණු සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති කොමිසම වසර දෙකක් තිස්සේ රැස්වන නමුත් කොමිසමට ඉදිරිපත්වූ සාක්කිවලට අනුව එකම සැකකරුවකු  හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකිවී ඇති බැවින් එම කොමිසම පිළිබඳවද කිසිදු විශ්වාසයක් නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

---------------------------
by     (2015-02-20 15:40:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links