~

රාජපක්ෂ - චීන චෞරයන්ගේ අශුද්ධ ගණුදෙනුව හෙවත් පෝර්ට් සිටි අර්බුදය නිරාකරණය කිරීම ගැන රනිල් පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.18, ප.ව.11.55) කොළඹ පෝර්ට් සිටි හෙවත් කොළඹ වරාය නගරය නමැති රාජපක්ෂ චෞරයන් චීන චෞරයන් සමග කරන ලද අශුද්ධ ගණුදෙනුව රටවල් දෙකක් අතර ගණුදෙනුවක් බවට පත් කර ඇති තත්ත්වයේ ගැටළුව නිරාකරණය කිරීමේ වගකීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවට ඇති තතු හෙළි කෙළේය. ඔහු කරන ලද විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය. 

“කොළඹ වරාය නගරය සම්බන්ධව අපේ රටේ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ ම විවිධ තොරතුරු වාර්තා වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාත් පෙබරවාරි 06 වන දා පාර්ලිමේන්තුවේදී මේ ගැන කරුණු ගෙනහැර දැක්වූවා. පසුගිය පෙබරවාරි 10 වනදා ස්ථාවර නියෝග 23(2) යටතේ ගරු විපක්‍ෂනායකතුමා විමසීමක් සිදු කළා. එතුමා එහිදී විමසා සිටියේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ රජයේ ස්ථාවරය සභාව හමුවේ පැහැදිලි කර දෙන ලෙසයි.

කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධව පසුගිය ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා කලාපය නෛතික හා සදාචාරාත්මක නොවන බව අප පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නා. අප ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදී මේ සභාවේ ප්‍රශ්න නැගුවා. එක් අවස්ථාවක එවක සභානායක ධූරය දැරූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම සභාවට මෙසේ කියා සිටියා.
 
2014 පෙබරවාරි 07 දින හැන්සාඩ් වාර්තාවේ 670 වන තීරුව.

“මෙම සියල්ල අදාළ අණපනත් යටතේ සිදු කරනු ලබන අනුමැතීන් වන අතර, එම පනත් වලට අවශ්‍ය වන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.”

නමුත් එසේ ප්‍රකාශ කොට මාස 11 ක් ගතවන තුරුම  සිරිපාල මහතා ඇතුළු ආණ්ඩුව මේ සම්බන්ධ කිසිදු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. 2014 මාර්තු 04 වන දා එවක අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා මේ සභාව හමුවේ කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. නමුත් ජනාධිපතිවරණය පරාජය වන තුරුම එවැනි වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කෙරුණේ නෑ. 

වරාය නගරයට අදාළ සියළු කටයුතු කළේ විනිවිද භාවයකින් තොරවයි. නෛතික කරුණු ගණනාවක් අනුගමනය කිරීමෙන් තොරවයි. ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළේ කැබිනට් අනුමැතියකින් තොරවයි. ඒ විතරක් නොවෙයි, නිසියාකාරයෙන් පාරිසරික වාර්තාවන් ලබා ගෙන තිබුණේ නැති බවට නැගුණු චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණේත් නෑ. 

ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව අප මේ සියල්ල පිළිබඳ සොයා බැලූවා. ඒ අවස්ථාවේදී බැලූ බැල්මටම පෙනී ගියේ මේ ගනුදෙනුව බරපතල සැක සංකාවන්ට හේතු වන බවයි. පසුගිය ආණ්ඩුව වරාය නගරය සම්බන්ධ සියලූ වාර්තා සහ කරුණු මේ සභාවට වසන් කර ඇති බව අපට පැහැදිලි වුණා. එපමණක් නොව අසත්‍ය ප්‍රකාශ ගණනාවක් මේ සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඒ නිසා වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීම සඳහා මම විශේෂඥ කමිටුවක් පත් කළා. මේ කමිටුවේ සභාපතිත්වය දරන්නේ අජිත් ද කොස්තා මහතා යි. මහාචාර්ය රුචිර කුමාරතුංග, ආචාර්ය එන් පී විජයානන්ද, ආචාර්ය අනිල් ප්‍රේමරත්න, මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි, චන්න ප්‍රනාන්දු සහ ඒ එස් ඔබේසේකර යන මහත්වරුත්, සුනිලා ජයවර්ධන මහත්මියත් මේ කමිටුවේ සාමාජිකත්වය දරනවා.

මෙම විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කර, තවදුරටත් අවශ්‍ය වන්වා වූ සොයා බැලීම් සිදු කර, අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා මගේ සභාපතිත්වයෙන් යුතු කැබිනට් අනුකාරක සභාවක් ද පත් කර තිබෙනවා. 
 
මෙම කමිටුව සහ අනුකාරක සභාව මගින් වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ඉතා ගැඹුරෙන් හා සැලකිල්ලෙන් කරුණු ගවේෂණය කරනවා. සෑම අංශයක් ගැනම සූක්‍ෂමව සොයා බලනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් වී ඇති ජනතා පැමිණිලි සම්බන්ධවද සොයා බලනවා. පරිසර සංවිධාන ගණනාවක් මේ ව්‍යාපෘතිය සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා. අප ඒ සියල්ල පරීක්‍ෂා කරනවා.

කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසූවා සේ අප මේ ව්‍යාපෘතිය නතර කරන්නට තවම තීරණයක් ගෙන  නැහැ. අප මේ ගිවිසුම් සම්බන්ධ සියලු කරුණු සොයා බලනවා. මේ ගිවිසුම අත්සන් කරද්දී නීතියට පටහැනි දෑ සිදු වී ඇත්නම්, වංචා දූෂණ සිදුවී ඇත්නම්, රටට හානිකර කොන්දේසි ඇතුළත් වී ඇත්නම්, අප ඊට අවශ්‍ය නිසි පියවර ගන්නවා.  

අප විශේෂඥ කමිටු වාර්තාව සහ ඒ පරීක්‍ෂණයේදී හෙළිදරව් කරගන්නා කරුණු අනුව අවසන් තීරණයක් ගන්නවා. ඒ පිළිබඳව මේ සභාව දැනුවත් කරනවා. ඇත්ත වශයෙන් ම මේ ප්‍රශ්නය මේ තරම් බරපතල වුණේ සත්‍ය කරුණු පාර්ලිමේන්තුවට වසන් කළ නිසයි.

මමත්, ජනාධිපතිතුමාත්, මේ පිළිබඳව චීන නියෝජිතයන් සමග සාකච්ඡා කළා. අප පැවසූයේ දෙරටේ දේශපාලනඥයන් හෝ වේවා, නිලධාරීන් හෝ වේවා, රාජ්‍ය ආයතන හෝ වේවා, සමාගම් හෝ වේවා දූෂණයකට, වංචාවකට සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට කිසිදු සමාවක් නොදෙන බවයි. 

හොර මැරකම් හා දූෂණ වංචා වලින් ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වයට බාධා පැමිණවීමට අප ඉඩ දෙන්නේ නෑ. චීනයේ හෝ වේවා, ශ්‍රී ලංකාවේ හෝ වේවා දූෂකයන් ආරක්‍ෂා කරන්න අප ඉදිරිපත් වෙන්නේත් නෑ. ශ්‍රී ලංකාව පමණක් නොව චීනයත් දූෂකයන් හා දූෂණ සම්බන්ධව ඉතා දැඩි ස්ථාවරයක සිටිනවා.

ඒ බව අවධාරණය කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දැක්වූ අදහසකින් මාගේ මේ කරුණු දැක්වීම අවසන් කරන්නම්.

“ජනතා විශ්වාසය සහ සහයෝගය දිනා ගත හැක්කේ සාධාරණ ලෙස බලය භාවිත කෙරෙන, පිරිසිදු සහ අවංක යහපාලනයකින් පමණයි. බලය භාවිත කිරීම නිරන්තර  පරීක්‍ෂාවට සහ නිරීක්‍ෂණයට ලක් කිරීම වැඩි දියුණු කොට, බලය සීමා කරලීමේ ක්‍රමවේදය සහතික කළ යුතුයි. දූෂණය නිවාරණය සඳහා දඬුවම් පැමිණවීමේ යාන්ත්‍රණයක්, දූෂණය වැළැක්වීම සඳහා අනතුරු හැඟවීමේ යාන්ත්‍රනයක් සහ දූෂණය මැඬලීම සඳහා ඇපකැපවීමේ යාන්ත්‍රනයක් ස්ථාපිත කළ යුතුයි.” 

---------------------------
by     (2015-02-18 23:18:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

The country new all about this but the poor villages did not new about this stories because the way RPs manipulated through media. This government must not do these thing. These things must be publish and tell the story to country.Not only this other things which RP family done must come out to earth.
-- by nabitha on 2015-02-18

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links