වෙහෙරත් ගිල අග්ගලාවත් වැළඳීම..! සහ යහපාලනයේ කුල සිරිත් විග්‍රහය

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ සටහන

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.14, ප.ව‍‍‍‍‍‍.9.45) පසුගිය ජූලි 22 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹදී  ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග නම් සම්මන්ත්‍රණය අමතා කළ කතාවෙන් අපේක‍්ෂා කළේ යහ පාලනයේ කුල සිරිත් විග්‍රහ කිරීම බව පෙනේ.  ජනාධීපති වරයාගේ කතාවට අවශ්‍ය  මාධ්‍ය ප්‍රචාරය ලැබුණා විය හැකිය. එහෙත්  ඒ කතාවේ ගැඹුර හරයාත්මකව කත්සේරුවක් කෙරුණේම නැත. 

ජනාධිපති වරයා එහිදී යහ පාලනය විනිවිද දැකීමට දැඩි උත්සාහයක නිරත විය.  එහි එක් තැනක මෙසේ දැක්වේ.  

“ ජනාධීපති වරයා විදියට මම වැරදි කරනවා නම්, මගේ ඇමති මණ්ඩලය වැරදි කරනවා නම්, මගේ  කැබිනට් මණ්ඩලය වැරදි තීරණ ගන්නවා නම්,  රාජ්‍ය නිලධාරින්ට පමණක් ඇඟිල්ල දික් කිරීමට බැහැ. දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් තම විනයෙන් ශික‍්ෂණයෙන් පිට පැන වැරදි කරනවා නම් රටේ ජනතාව තුලින් සිදුවන වැරදි ගැන අපට ක්‍රියා කළ නො හැකියි“ 

ඔහු කළ පැහැදිලි කිරීම බුදු ගුණාලංකාරය නම් කවි පොතේ කතු වරයා මෙසේ කවි කර දැක්විය. “රජුන් අදමිටු වෙත් වෙති මැතිඳෝද එපවත් දැක උන්ගේ පවත් බමුණු ගහපතියෝද එගනිත්“ බුදු ගුණාලංකාරය ලිවීමේ අරමුණ  සමාජ ගත දේව විශ්වාසය සහ බමුණු මත හෙළා දැකීම බව ආචාර්ය පී.බී. සන්නස්ගල ප්‍රකාශ කරයි. අද දවසේ  දේව විශ්වාසයන්ට වඩා රටට, සමාජයට සහ සාමාජික ජීවිතයට දේශපාලන මතවාද සිදු කරන හානිය සුළුපටු නැත. තිස් අවුරුදු යුද්ධය හරහා රටට සිදුවූ හානිය අති මහත්ය. මහින්ද රාජපක‍්ෂ මුල්ව ඒ යුද්ධය නිමා කළේය. එහි ප්‍රතිපලය රටේ සංහිඳියාව තහවුරු කර නැත. එහෙත් යුද්ධ කළ රණවිරුවන්ට මනුෂ්‍ය ඝාතන කළ හැකිය, රණ විරුවන් නීතිය හමුවට පැමිණවීම දේශද්‍රෝහී කමකි, ආදි ඇදහිලි විශ්වාස සමාජය තුල පැතිරෙමින් පවතී. මේ තත්වය සමහර ගිහියන් මෙන්ම භික‍්ෂුන් පවා  ආගම දහම ලෙස අදහනු දැකිය හැකිය. ජනාධිපති මෛත්‍රී විග්‍රහ කළේ රටේ පවත්නා මේ විකෘති තත්වයේ යථාර්තයයි.

නව සමාජයක් ඉල්ලූ අයගේ ගණං හිලව්

ජනතාව, නව පාලකයෙක් තෝරා ගත්තේ සමාජයේ පැවති ඛේදනීය පසුබෑම නිසාය. යටපත්වූ අපරාධ, මනුෂ්‍ය ඝාතන, රාජ්‍ය මුදල් අවභාවිතය  මැතිවරණය පුරා විවේචනය විය. රටේ බහුතරය සාධාරණ සමාජයක් නව පාලනයක් ගැන  බොහෝ බලාපොරොත්තු තබා සිටිති. යුද්ධය දිනා දුන්  මහින්ද රාජපක‍්ෂට ජනවාරියේ  ඡන්ද 57,68,090ක් ලැබිණ.  එහෙත් මහින්ද  නැවත ජනාධිපති වුණේ නැත. අගෝස්තු මහ මැතිවරණයේදී මහින්ද රාජපක‍්ෂ  රටේ අගමැතිකම සඳහා ඉදිරිපත් විය. එහෙත්  ජනවාරියේ මහින්දට ලැබුණ  ඡන්ද සංඛ්‍යාව 47,32,669 තෙක් පහත වැටිණ. හත් මසක් තුල දස ලක‍්ෂ තිස්පන් දහස (10,35,421) ක් දෙනෙකු මහින්ද  අතහැර යමින් ජනවාරියේ රටේ බහුතරය දුන් තීන්දුව අනුමත කළහ. නව සමාජයක් තැනීමට ජනවාරියේ ඒකරාශිවූ 62,17,162ක් වූ ජනතා ශක්තිය අගෝස්තුවේ  72,52,583 තෙක් ඉහළ ගියේය. 

මහින්ද බලයෙන්  ඉවත් කළ  රටේ බහුතර  ජනතාව දූෂිතයන්, සොරුන් තක්කඩියන් මනුෂ්‍ය ඝාතකයන් සොයා දඬුවම් කළ යුතු බවට නැවත නැවත හඬ නගති. විශේෂ අපරාධ විමර්ෂණ අංශය රටේ බහුතර ජනතාවගේ ඉල්ලීමේ ප්‍රතිපලයකි.  විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ  ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනෙකුට උසාවි යන්ට සිදුවිය. ඒ තත්වය ඒකාබද්ධ විපක‍්ෂය දකින්නේ දේශපාලන පලිගැනීම් හැටියටය.  රාජ්‍ය සේවය තුළ සිදුවූ වංචා දූෂණ සොරකම් විමර්ශණ සිදුවන්නේ රජයේ නියෝගය අනුවය. එය මැතිවරණ පොරොන්දුවකි. එකී නියෝග ක්‍රියාත්මක  කරන FCID යට අනුයුක්ත නිලධාරින්ව ගල් ගසා මරණ බවට දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එවැනි ප්‍රකාශ රාජ්‍ය පාලනයට එරෙහි ඒවා වෙති.  ජනතාවගේ උවමනා ඉටු කිරීම පවත්නා ආණ්ඩුවේ වගකීම වේ. සමහර වැරදි ගැන ඇඟිල්ල දිගුව පවත්නා දේශපාලකයන් FCID  යට එරෙහි වීම පුදුම  නැත. ප්‍රශ්නය රජයේ සමහර ඉහළ නිලධාරීන්ද ඒ මතය දැරීමය.  

සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතාවකට වගකිව යුතු හය දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත විය. ඒ සමග ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, තම තනතුරු හැර යන බවට ආණ්ඩුව තර්ජනය කළහ.  එසේම විගණන පනත් කෙටුම්පතේ අධිභාර වගන්තින්ටද දැඩි සේ එරෙහි විය. 1972 සිට මේ දක්වා රටේ පැවති ජන ව්‍යවස්ථා දෙක තුල රාජ්‍ය නිලධාරින් සිටියේ වහලුන් මෙනි. ඔවුන්ට අභිමතයක් ස්වාධීනත්වයක් තිබුණේ නැත. රාජ්‍ය සේවය පිරිහුණේ ඒ නිසාය. රත්නපුර කැබිනට් අමාත්‍යවරයෙකු  ඉඩම් ලබා දීම සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් මුදල් එකතු  කළහ. පොරොන්දුවූ පරිදි ඉඩම් නොලැබිණ. රැස් කළ  මුදලේ එකතුව  මිලියන ගණනකි. ජනතාව මුදල් වංචාවක් ගැන පැමිණිලි කළහ. හෙළිවූයේ කුමක්ද?  ඒ  මුදල් රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරියකගේ  පුද්ගලික බැංකු ගිණුමකට බැර වී ඇති බවය. රාජ්‍ය නිලධාරියෙකුට සිය පුද්ගලික ගිනුමකට එසේ  මුදල් රැස් කළ නොහැකිය. එය සපුරා තහනම්ය. රාජ්‍ය සේවය මෙසේ වහල් තත්වයට පත්වුණේ ඇයි? එය ඓතිහාසික කතාවකි.

ප්‍රසාදය ඇති තාක් තනතුරු දැරීම හෙවත් සට්ටැඹියන් නිර්මාණය

රාජ්‍ය නිලධාරින් 1948 සිට 1972 තෙක් රාජ්‍ය තන්ත්‍රයම පාලනය කළහ. 1972 සහ 1978 ජන රජ ව්‍යවස්ථා හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අකර්මන්‍ය කෙරිණ. 1978 ව්‍යවස්ථාවේ 55(1) වගන්තියෙන්  රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම්, මාරුවීම් විනය ආදි සියළු ක්‍රියාවන් රාජ්‍ය සේවා කෙමිසමෙන් ඉවත් කොට අමාත්‍ය මණ්ඩලයට පවරා තිබිණ. එ් වගන්තිය අවසන් වන්නේ “සියළුම රජයේ නිලධාරීන් ප්‍රසාදය ඇති තාක් ධුර දරන්නේය.“ යනුවෙනි. මෙහිදී කාගේ  ප්‍රසාදය ඇති තාක් ද යන්න කිසි තැනක සඳහන් නොවේ. රජයේ මුදලින් සොහොන් බැන්දේත්, සිල් රෙදි බෙදුවේත්, ලිත් මුද්‍රණය කළේත්, ඡන්ද කාලේ දන්සැල් දැම්මේත් සමහර විට අර  ‘ප්‍රසාදය‘ දිනා ගැනීමට විය හැකිය. රාජ්‍ය සේවය වසර 42 ක් ගමන් කළේ නීති රිති ඉවත ලා දෑස් බැඳ ගෙනය. ඔවුන් කාගේ හෝ හඬකට අවනත වුණා පමණකි. සිය වගකිම ඉටු කර නැත. පැවතියේ පාලනයක් නොවේ. බියසුළු අවනත භාවයක් පමණකි. අද සමහර රාජ්‍ය නිලධාරීන් මාංචු දමා මිනී මරුවන් කුඩු කාරයන් සමග උසාවි යනු දකින්නේ ඉහත කී තත්වය නිසාය. යහ පාලන ආණ්ඩුව ඒ තත්වය වෙනස් කර රාජ්‍ය නිලධාරියාගේ ස්වාධීනත්වය වෙනුවෙන්  නිසි පියවර ගනිමින් සිටියි. එහි පළමු පියවර කළ වැරදි සොයා නඩු අසා වැරදි කාරයන් හඳුනා ගැනීමය. 

දෙවැන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් 1978 ව්‍යවස්ථාවේ 55(1) වගන්තිය ඉවත් කිරීමය. ලේකම් වරුන්ගේ ධූර දැරීම  ගැන, 19 වෙනි සංශෝධනයේ 52(2) වගන්තිය මෙසේය. “අමාත්‍යාංශයක ලේකම් වරයා ධුරය දැරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන  යටතේ ...... නතර විය යුත්තේය.“ මේ සංශෝධනය රාජ්‍ය නිලධාරීන් සතුව පැවති බලය නැවත සහතික කිරීමකි. එසේම විගණන පනතේ විවාදිත අධිභාර විධිවිධානය දේශපාලනඥයන්ගේ නීති විරෝධි බලපෑම් වලට එරෙහිව රාජ්‍ය නිලධාරීන්ට සැපයෙන අයෝමය පලිහකි. මේ තත්වය තේරුම් ගැනීමට, රජ්‍ය නිලධාරීන්ට නොහැකිද? දේශපාලනඥයන්ට බිය වී සේවය කළ නිලධාරීන් වෙනුවෙන් සැකසෙන රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිවීමට පරිපාලන සේවා සංගමයට අයිතියක් නැත. පැරණි සිවිල් සේවාවේ කිර්තිමත් නාමය නිසා  පරිපාලන නිලධාරීන් කලක් රාජ්‍ය සේවයෙහි යම් අධිකාරියක් දැරූ බව සත්‍යයකි. එහෙත් විවිධ වෘත්තිය සේවාවන් ගෙන් සමන්විත වර්තමාන රාජ්‍ය සේවයට  ඒ තත්වය  වලංගු නැත. එසේම හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් වරයා පරිපාලන මුදල් රෙගුලාසිවලට දුන් නව අර්ථකතන ආණ්ඩුවට ඍජුව කළ අභියෝගයකි. මේ සියළු තත්වයන් හකුලා දක්වමින් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය සේවය අමතා මෙසේ කීය. 

වැරදි කළා නම් ඊට මුහුණ දෙනු 

“වැරදි කළා නම් ඊට මුහුණ දෙනු මිස අනම් මනම් කතා කීමෙන් ගැලවී යා නොහැකි“ බවය. ඒ  ජනාධිපතිගේ පුද්ගලික මතය නොවේ ජනවාරියේ හැට දෙලක‍්ෂයක් ජනතාව කී කතාව නැවත සිහි කිරිමකි. රාජපක‍්ෂ යුගයේ රටේ රාජ්‍ය සේවය ක්‍රියා කළේ ඇදහිලි විශ්වාස මතය. මුදල් රෙගුලාසි පරිපාලන රෙගුලාසි අනුව නොවේ. බණ්ඩාරනායක සමාධීය ඉදි කළේද ජනතාව ගෙන් සම්මාදම් කළ රුපියල් සත වලිනි. එහෙත් වීරකැටියේ රාජපක‍්ෂ සොහොන ඉදි කිරිමට රුපියල් කෝටි 200 ක් වැය කළේය. ඒ මුදල  රජයේ ආයතනයක් ඇපයට තබා ගත් බැංකු ණයකි. ඒ ගැන විමර්ශන අතර, ඒ මුදල ආපසු රජයට ගෙවීමට, ඩී.ඒ.රාජපක‍්ෂ පදනම එකඟ විය. එහි තේරුම  එය වරදක් බව පිළිගැනීමකි.  එසේ නම් ඡන්දෙට සිල් රෙදි බෙදීම, ඌව පළාත් සභා ඡන්දයට සංචාරක මණ්ඩලයේ මුදලින් ඡන්ද දන්සැල් පැවැත්වීම පිළිබඳ විමර්ශනය දේශපාලන පළිගැනීම් වන්නේ කෙසේද?  

විධායක ජනාධිපති ක්‍රමය යටතේ අංක 48/2 සහ 1979 අගෝස්තු මස 06 දින දරණ ලේකම් සංග්‍රහය නම් අති විශේෂ ගැසට නිවේදනයේ 10 වෙනි නියාමනය මෙසේ ය. “ලේකම්වරු, රජයේ සියළුම මුදල් රෙගුලාසිවලට ද, අනෙකුත් රෙගුලාසිවලට ද, පටහැනි  නොවන තාක් දුරට මෙහි ඉහතින් වන විධිවිධාන වලට යටත් වන්නේය.“   1979 පටන් 2016 තෙක් ගෙවුන 37 වසර තුල  ලේකම් සංග්‍රහයේ 10  වෙනි ඡේදය කොමාවක් හෝ වෙනස් කර නැත. පසුගිය කාලයේ රාජකාරි කර ඇත්තේ භත්කියෙන් සහ විශ්වාසයෙන් මිස පිළිගත් ක්‍රම වේද අනුව නොවන බවට තවත් සාක‍්ෂී අවශ්‍ය නැත.

වහල් බවින් මිදීමට වහලුන් දක්වන විරෝධය 

ව්‍යවස්ථාදායකය නීති පනවා ඇත්තේ රටේ යහපත පිණිසය. අපරාධ නීතිය පනවා ඇත්තේ ජන ජීවිත, දේපල සහ නිදහස ආරක‍්ෂාව පිණිසය. පරිපාලන මුදල් රෙගුලාසි පනවා ඇත්තේ රාජ්‍ය තන්ත්‍රය විධිමත්ව ආරක‍්ෂාව පිණිසය. එකී රෙගුලාසි  ඉක්මවා ක්‍රියා කිරීමට,  දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට නො හැකිය. රාජපක‍්ෂ සොහොනට මෙන්ම අමාත්‍ය බැසිල්ගේ  ගුවන් ගමන් සඳහා  වැය කළ මුදල් ආපසු ගෙවා දේශපාලන පළිගැනීම් කරති යයි කියති.  රාජ්‍ය සේවයේ යහපත ගෞරවය පිණීස නව රජය නව නීති සහ ආයතන නිර්මානය කරන විට රාජ්‍ය නිලධාරීන් විරුද්ධ වන්නේ ඇයි? නාස්තිකාර වියදම් කරන විට, බදු ගෙවන  ජනතාව වෙනුවෙන් ඊට මැදිහත්  විය යුත්තේ රාජ්‍ය සේවයයි. නව රජය නිර්මානය කරන්නේ එවන් රාජ්‍ය සේවයකි. අප අත් විඳින්නේ අමෙරිකාවේ වහල් සේවය තහනම් කරන විට සමහර වහල්ලූ ඊට විරුද්ධ වුනා වැනි තත්වයකි.

දූෂණ වංචා විමර්ෂණ පිළිබඳ මාධ්‍ය වාර්තා කරණයද යහපත් නැත. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2014 සැප්තැම්බරයේ රුපියල් දස ලක‍ෂ දාහත් දහස් සියයක් මුදල් පරිපාටියට එරෙහිව වැය කර ඇත.  ඒ මහින්ද රාජපක‍ෂගේ අපල උපද්‍රව  දුරු කිරීමට ය.  ඒ  වංචා දූෂණ විමර්ෂණය මාධ්‍ය වාර්තා කරන්නේ  “කිරි අම්මාලාගේ දානයටත් නඩු“ යනුවෙන් සත්‍ය විකෘති කරමිනි. එය ද්වේශ සහගතය. විදුලි සංදේශ නියාමන කොමිෂමට එරෙහි සිල් රෙදි චෝදනාව ගැන මහින්ද රාජපක‍්ෂ පන්සලකදී  කීවේ  “යහ පාලනේට අනුව, සිල් රෙදි බෙදීමත් වරදක් හාමුදුරුවනේ“ කියා ය.  නිලධාරීන් නිදහසට කියන්නේ අත්තිකාරමක් පමණක් දුන් බවය.  හෙල්පින් හම්බන්තොට ගිනුම ගැන අසා ඇති අයට මේ කතාව ‘වෙහෙර කෑ එකා  අග්ගලාවක් වැළඳුවා‘ වැනි කතාවකි. අත්තිකාරමක් වුවත් සල්ලි ආණ්ඩුවේ නම්, බූරු ගැසුවත් වැරදිය. සිල් රෙදි බෙදුවත්  වැරදිය.  

ජනාධිපති මෛත්‍රීට ජනතාව බොහෝ වගකීම් පවරා  තිබේ.  FCID ය  පත් කළේද,   සොරුන් අල්ලා දඬුවම් කරන්නේද ඒ අනුවය. ජනාධිපති වරයා තම කතාවේ මෙසේද කියා ඇත. 

“අපට FCID යන්න වෙයි කියා රජයේ නිලධාරීන් කර අරිනවා.  දේශපාලනඥයන් කියන්නේ FCID කීවාම අපටත් බය හිතෙනවා කියාය. මේ කියන්නේ FCID හරහා යහ පාලනය උදාවී ඇති බවය. එය ජනතා ජයග්‍රහණයකි.“  

FCID ය යනු ලජ්ජාව බය පිළිබඳ ලාංඡනය වී ඇති බව පෙනේ.  බුද්ධාගමේ ඉගැන්වීම අනුව,  ලජ්ජා බය යනු දේව ධර්මය  ලෙස හැඳින්වේ. සිල් රෙදි දීම පිනකි.  බුුදුන් වහන්සේ උගන්වා ඇත්තේ දන් දිය යුත්තේ සාධාරණව උපයා ගත් ධනයෙන් පමණක් බවය. 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

---------------------------
by     (2016-08-14 16:15:51)