එල්ටීටීඊ යුද නටඹුන් ගොඩ ගනී: ජන ශූන්‍ය ප්‍රදේශයකදී පුපුරුවා හැරේ

(ලංකා ඊ නිව්ස් 2016.ජුනි.18, ප.ව.4.15) එල්.ටී.ටී.ඊ.ය සතුව තිබූ බව කියන යුද උපකරණ තොගයක් මන්නාරම් මඩු පළාතේ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ වළලා තිබියදී වන්නි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් 17 දා දහවල් ගොඩ ගත් බව පළාතේ ගුවන් හමුදා නිලධාරියෙකු පැවසීය.

ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ගොඩගත් එම යුද උපකරණ තොගය අතර බිම්බෝම්බ 74 ක්, මෝටාර් උණ්ඩ 6ක්, අත්බෝම්බ 3 ක් හා කුඩා අත්බෝම්බයක් සමග තවත් යුද උපකරණ රැසක් තිබූ බවද එම නිලධාරියා කියා සිටියේය.

එල්.ටී.ටී.ඊ.ය විසින් පවත්වාගෙන ගිය යුද බංකරයක් යට මේ යුද උපකරණ තොගය වළලා තිබූ බවත්  මේ වන විට එම ප්‍රදේශය වල් බිහි වූ ප්‍රදේශයක් බවත් ඔහු පැවසීය.

ගුවන් හමුදා නිලධාරීන් මෙම යුද උපකරණ තොගය ගොඩ ගැනීම පිණිස මන්නාරම දිස්ත්‍රික් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබූ අතර ඒවා ගොඩ ගන්නා අවස්ථාවේදී මන්නාරම දිසාවිනිසුරුවරයා සහ පොලීසියද එම ස්ථානයට පැමිණ සිටියේ ය.

යුද උපකරණ ගොඩගැනීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කොට තිබුණේ ඒවා පොලීසිය වෙත බාරදෙන ලෙසයි.

පොලීසිය එම ද්‍රව්‍ය පිළිබදව පූර්ණ වාර්තාවක් සකසා යළි අධිකරණය වෙත  තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේදී යුදහමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය ආංශය වෙත බාර දෙන මෙන් විනිසුරුවරයා නියෝග කොට තිබේ.

මන්නාරම පොලීසිය විසින් යුදහමුදාව වෙත බාරදෙන ලද යුද උපකරණ තොගය මන්නාරමේ ජනශුන්‍ය පළාතකදී පුපුරවා නිශ්ක්‍රීය කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇතැයි මන්නාරම යුද හමුදා කදවුරේ නිලධාරියෙකු පැවසීය.

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

---------------------------
by     (2016-06-18 11:23:50)