නවක වධකයන් වධකාවියන් නිදහස් කරන්නැයි ඉල්ලන ලෝකයේ එකම තිරිසන්වාදී සිසුන්ට කඳුළු ගෑස්- අධිකරණ නි‍යෝග නොතැකූ 3 ක් රිමාන්ඩ්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.15, ප.ව‍‍‍.8.00) නවක වධය දුන් වධකයන් සහ වධකාවියන් නිදහස් කරන්නැයි ඉල්ලන තිරිසන්වාදීන් පිරිසක් වේ නම් ඒ අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ සිටින පෙරටුගාමීන්ගේ අතකොළුවන් කණ්ඩායමයි. පසුගියදා කැළණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියක් කලිසමක් ඇන්දා කියා ඇයගේ කලිසම ගැලවීමට බල කරමින් නවක වධය දුන් තිරිසන් වධකයන් සහ වධකාවියන් පිරිසක් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තරේ තවත් ගොබ්බයන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් පා ගමනක් ගියහ. මෙය නීති විරෝධී බලහත්කාර පා ගමනක් වන්නේ එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණය කර තිබීම නිසාය. පොලිසිය අධිකරණ නියෝගය පෙන්වුවද එම අධිකරණ නියෝගය නොතකා තිරිසන් ඉල්ලීමක් ඉල්ලමින් බලහත්කාරයෙන් ගමන් කළ, පෙරටුගාමීන් විසින් නොමග යවන ලද ගොබ්බ සිසුන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් විසිරුවා හැරියේය. සිසුවන් දෙදෙනෙක් සහ සිසුවියක් අත් අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණ නියෝගය කඩ කිරීම යටතේ චෝදනා ඉදිරිපත් විය. තිදෙනා හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගන්නා සරසවි සිසුන් නවක වධය දෙමින් තිරිසන්වාදී ඉල්ලීම් ඉල්ලමින් සරසවි පාලනය කඩා කප්පල් කරමින් අධිකරණ නියෝග වලට අවනත නොවී හැසිරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව ශිෂ්ඨාචාරගත ජනතාව සහ ආණ්ඩු දැඩි තීන්දු ගත යුතුය. ශිෂ්‍ය කාලයේදී මෙලෙස හැසිරෙන සිසුන් නම් කරමින් රතු ලැයිස්තු ගත කළ යුතු අතර ඒවා ප්‍රසිද්ධ කරමින් අවසානයේ රැකියා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අහිමි කළ යුතුය. මන්ද එවැනි අපත පිරිස් රැකියාවකට ගියද එහි වගකීම් නිසි ලෙස ඉටු නොකරන බැවිනි. රටේ රාජ්‍ය සේවය මේ තරම් දූෂිත අකාර්යක්ෂම එකක් වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙවැනි අපතයන් පසු කලෙක රාජ්‍ය සේවයට බැඳීමය.

-සේයාරූ ලංකාදීපයෙනි-

---------------------------
by     (2016-06-15 15:34:43)