(ලංකා ඊ නිව්ස් -2016.මැයි.19, ප.ව.11.30) රටේ ඉහල පෙදෙස් වලට ඇද වැටුනු ජලය ගලා යෑමට කැළණි ගඟ ඉඩ මදිවී කොළඹ වනසා දෙගොඩතලා ගලා ගියේය. අවසන් වෙතැයි සිතූ අයහපත් තත්ත්වය තව දුරටත් වර්ධනය වෙන බවට අනාවැකි සඳහන් විය. අද වනවිට කොළඹ 1,25000 කට අධික ජනතාවක් විපතට පත්ව උන් හිටි තැන් අහිමිව ආරක්ෂිත ස්ථාන බලා යෑමට සිදුවිය. මෙම අධික පිරිස බේරා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහාය ඇතිව පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කැලණිය ප්‍රදේශ වල විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කළහ.
කොටු වී සිටින පිරිස් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් බෝට්ටු සිය ගණනක් යොදවනු ලැබීය. අවදානම් තත්ත්වයක් පැවතියද සමහර නිවැසියන් තම නිවාස වල ඇති දේපල ආරක්ෂාකර ගැනීමේ අරමුණින් එම නිවාස වලම රැඳී සිටි නමුත් එවන් අයට එහි ඇති අවදානම් තත්ත්වය පැහැදිලි කර දී බලෙන් රැගෙන යාමටද ආරක්ෂක අංශ වලට පියවර ගැනීමට සිදුවිය. නිවාස වලින් පිරිස් ඉවත් කිරීමෙන් පසු ඔවුන්ගේ නිවාස, දේපල වල ආරක්ෂාව ආරක්ෂක අංශ බාර ගන්නා බව ආණ්ඩුව කීවේය.
කොළොන්නාව ප්‍රදේශයේ ජීවත් වූ පවුල් 18,756 කට අයත් පුද්ගලයින් 94,151 ද කැලණිය ප්‍රදේශයේ පවුල් 6940 කට අයත් 28,178 දෙනෙක්ද අවතැන් කඳවුරු හතලිස් එකකට යොමු කරවීමට පියවර ගෙන තිබිණි.
මේ අතර අගමැතිවරයා අවතැන්ව විපතට පත්ව සිටින ජනතාව ගැන සොයා බැලීමට වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි විය. (සේයාරූ දැක්වේ)
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට(20) දිනයේ වසා තැබීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා නිවේදනය කෙළේය.
ප‍්‍රදේශ දෙකක සිදු වූ අවාසනාවන්ත නායයෑම් හේතුවෙන් විශාල පිරිසකට සිය ජීවිතද නිවාසද අහිමි වී තිබේ. ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇත.
පීඩාවට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීම වෙනුවෙන් පැලවත්ත, ඉසුරුපායේ, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයෙහි විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා තිබේ. මෙම මෙහෙයුම් මැදිරිය දවසේ පැය විසිහතර තුළම විවෘතව පවතින අතර ස්වේඡ්චා සංවිධාන මට්ටමින් හා පෞද්ගලික මට්ටමින් ආධාර ලබාදීමට කැමති සියලූ දෙනාට මෙහෙයුම් මැදිරියට පැමිණ ආධාර ලබා දිය හැකිය. එහි දුරකථන අංක - 0112786384, 0712365965 - සෙනරත්, 0718387212 - රොහාන් අමතා වැඩි විස්තර ලබා ගත හැක.
ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අද සවස විශේෂ ප්‍රකාශයන් කරන ලදී. ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුම ප‍්‍රදේශවල දේශපාලන නායකත්වය ගෙන කටයුතු කරන සෑම කෙනෙක්ම මීට මැදිහත්වෙලා විපතට පත් ජනතාවට සහන සැළසීමට මූලිකත්වය ගන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි. යම් අඩු පාඩු තිබේ නම් තමා වෙත දන්වන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවද ජනාධිපති පැවසීය.
උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් සහිත නිවාස සහ ප්‍රදේශවලින් ඉවත්ව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
“1975 වසරේ සිට මා මේ ප්‍රදේශවල ගංවතුර දැක තිබෙනවා. විපතට පත්වූවන්ට සහන සැලසීමට සහභාගිවී තිබෙනවා. මෙවර ගංවතුරේදී වෙනත් අවස්ථාවලට වඩා විශාල ප්‍රදේශයක් ගංවතුරට යටවී තිබෙන ආකාරය දැකගන්නට හැකි වුණා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. වර්ෂාව නතර වේ යැයි බොහෝ අය බලාපොරොත්තු වුණා. නමුත් මාලදිවයිනේ සිට වැහි වලාකුළු ශ්‍රී ලංකාව කරා පැමිණීමට පටන්ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. සිකුරාදා (20) සිට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා. ප්‍රදේශවල සහන සේවා කටයුතු සිදු කරනවා මෙන්ම ආරක්ෂාව තහවුරු කර ප්‍රදේශවාසීන්ගේ දේපළ සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරනවා.‘ යැයි අගමැතිවරයා කීය.
මේ වන විට මරණ සංඛ්‍යාව 58 ක් දක්වා ද අතුරුදහන් සංඛ්‍යාව 132 ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
---------------------------
by (2016-05-20 00:35:35)