(ලංකා ඊ නිව්ස් -2016.මැයි.17, ප.ව.11.40) දින කිහිපයක් තිස්සේ දිවයින පුරාවට ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතු කොටගෙන සිදුවූ ඛේදනීයම ආපදාව අද(17) සවස වාර්තා වෙමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, එළඟපිටිය, සිරිපුර සාමසර කන්ද නාය යෑමෙන් මෙතෙක් ස්ථිරව කිව නොහැකි නිවාස සහ පුද්ගලයන් සංඛ්‍යාවක් අනතුරට ලක්ව තිබේ.
අනතුර ඇසින් දුටු කාන්තාවක් පවසා සිටියේ කන්ද නාය යනු තමන් දුටු බවයි. කන්ද මීදුමින් වැසී ගිය බවත් එ සමග සවස 5.30 ට පමණ ගල් කුළු සහිත මුළු කන්දම නාය ගිය බවත් ඉතිරිව ඇත්තේ එක් ගලක් පමණකැයි කී ඇය ඒ ප්‍රදේශයේ නිවාස තිබෙන බවත් පැවසුවා ය.
පල්ලෙබාගේ හා ඔලන්ගහපිටිය ගම්මාන දෙක මුළුමනින්ම පස් වලින් වැසී ගොස් තිබේ.
නාය නොගිය භූමියට කොටු වී සිටින පිරිස් විදුලි පන්දම් දල්වමින් දුරකථන ඇමතුම් ලබාදෙමින් තමන් බේරාගන්නැයි කෑගසනු ඇසෙන බව එම ප්‍රදේශයට ගොස් සිටින ලේක්හවුස් වාර්තාකරු ප්‍රදීප්කුමාර ධර්මරත්න පවසයි.
අරණායක පොලිසියේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ සවස ආරම්භ වූ නාය යාම වරින් වර සිදුවූ බවත් තවමත් ඒ ප්‍රදේශයේ නාය යෑම් සිදුවෙමින් පවතින නිසා සමීප වීම අසීරු වී ඇති බවයි. පොලිසිය පවසන්නේ එම ප්‍රදේශයේ නිවාස 150 ක් පමණ තිබූ ප්‍රදේශයක් බවයි. නමුත් මීට කලින් නාය යෑමේ අනතුරු අඟවා තිබූ බැවින් බොහෝ දෙනා නිවාස වලින් ඉවත්ව සිට ඇතැයිද බේරුණු අය පවුල් 500 ක පමණ පිරිස් දෙබත්ගම ධර්ම ශාලාව, හත්ගම්පළ ධර්ම ශාලාව, දික්කපිටිය රාජගිරිය විදුහල, හත්ගම්පළ විදුහල යන ස්ථානවල රඳවා ඇතැයිද පැවසුවේය. තුවාල කරුවන් පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය පැවසූ නමුත් ස්ථිර සංඛ්‍යාවක් කීවේ නැත.
මේ වන විට සහන කණ්ඩායම්ද යුද හමුදාවද විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා පැමිණ සිටින නමුත් රාත්‍රිය නිසාත් තවමත් නාය යෑම් සිදුවන නිසාත් සිද්ධිය සිදුවූ ස්ථානයට ලඟාවීම මහත් අසීරු වී ඇතැයි පැවසුවේය. නමුත් යුද හමුදා ප්‍රකාශකයෙකු කියා සිටියේ දහ දෙනාගෙන් යුත් කණ්ඩායම් ලෙස බෙදුනු හමුදාව සහ ප්‍රදේශවාසී තරුණයන් කණ්ඩායම් 4 ක් වශයෙන් විදුලි පන්දම් දල්වමින් කොටු වී සිටින පිරිස බේරා ගැනීමේ මෙහෙයුමක් රාත්‍රියේම ආරම්භ කළ බවයි.
බේරී ආ පිරිස් අතර තම හිතවතුන් ඥාතීන් අතුරුදහන් වූ අය සිටීදැයි ලංකා ඊ නිව්ස් කළ විමසීමට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ ‘ඔව් එවැනි අය සිටින බවයි.‘
අනතුරු සිදුවීමත් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එම ස්ථානයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ අතර ජනාධිපතිවරයා ගුවන් හමුදාව සහ යුද හමුදාව වහාම එම ස්ථානය කරා යැවීමට නියෝග දුන්නේය.
නාය යෑමෙන් විපතට ලක්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම මේජර් ජෙනරල් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර හෙට (18) අලුයම 5.30 ට හමුදා, ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.
දින කිහිපයක් පුරා පැවැති වර්ෂාව දැන් අඩු වී නමුත් රට පුරා ජල ගැලීම් සිදුව තිබේ. වැඩිම හානිය බස්නාහිර පළාතට ය. කැළනිය ගඟ පිටාර ගැලීමෙන් විශාල හානියක් සිදුව තිබේ. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද සවස නිකුත් කළ වාර්තාවලින් පැවසෙන්නේ ජීවිත හානි 12 ක් සිදුව ඇති අතර 9711 ක් අවතැන්වී ඇති බවයි.
---------------------------
by (2016-05-17 22:05:47)