මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම ගැන කී ප්‍රකාශය පිළිබඳ රහස් පොලිසිය පැය 3 ක් ජී.ඇල්ගෙන් ප්‍රශ්න කරයි: හමුදාව උතුරේ තියා ගන්න අවශ්‍ය අයගේ වැඩක්ද?

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.02, ප.ව‍.10.15) චාවකච්චේරියෙන් හමුවූ සිංහල පත්තර කොලයක ඔතන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම සහ පුපුරන ද්‍රව්‍ය ගැන හොර පොල් විපක්ෂයේ ජී.ඇල්.පීරිස් මන්ත්‍රීවරයාගෙන් අද රහස් පොලිසිය පැය 3 ක් ප්‍රශ්න කෙළේය.

මෙසේ ප්‍රශ්න කිරීමට හේතු වූයේ පුපුරන ද්‍රව්‍ය හමුවෙනවාත් සමග මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජී.ඇල්.පීරිස් මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ය. ඔහු කියා සිටියේ මෙම භාණ්ඩ කිසියම් ප්‍රහාරයක් සඳහා කොළඹ එවීමට සූදානම් කර තිබූ බවයි. ඔහු ඒ බවක් දන්නේ කෙසේද යන්න ගැන ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.

ප්‍රශ්න කිරීමෙන් පසු මාධ්‍ය ඇමැතූ ජී.ඇල්.පීරිස් කියා සිටියේ තමාගෙන් ප්‍රශ්න කෙළේ ආණ්ඩුවට විරුද්ධ මත දරන අය මර්දනය කිරීමට බවයි. 

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත ලැබුනු එක් තොරතුරක සඳහන් වන්නේ යුද හමුදාව උතුරින් අඩු කිරීමට විරුද්ධ යුද හමුදාවේම පිරිසක් විසින් මෙම බෝම්බ නාටකය රඟ දැක්වූ බවයි. යුද හමුදාව උතුරින් අඩු කිරීමට එරෙහිව පසුගියදා සංහිඳියා රැස්වීමකදී අසංවරව අදහස් පළ කළ උතුර බාර අණදෙන නිලධාරියාව සිටි චාගී ගාල්ලගේ කොළඹට කැඳවා තිබිණ. 

මෙකී මරාගෙන මැරෙන බෝම්බ ඇඳම සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායක සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා කියා සිටියේ මේ ගැන ආරක්ෂක අංශ පුළුල් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පිරිසට  එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.  උතුරේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයට අකමැති බවත්, ඔවුන් නිදහසේ ජීවත් වන බවත්, මෙවන් ක්‍රියා හේතුවෙන් දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර සමගිය බිඳ වැටෙන බවත්, මේවාට එරෙහව නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවන බවට පතුරුවන කතා අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විට ටීඅයිඩීය විසින් පරීක්ෂණ කරගෙන යනු ලබයි

---------------------------
by     (2016-04-02 16:54:45)