(ලංකා ඊ නිව්ස් -2016.මාර්.22, ප.ව.10.15) ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් විසින් ලෝක වාර්තාවක් තබා තිබේ.
එම වාර්තාව නම් ආරක්ෂාවට එකදු හමුදා සෙබලෙකු හෝ ලබා නොදුන් ෆීල්ඩ් මාර්ෂල් වරයෙක් ලෝකයට හඳුන්වා දෙමිනි.
මෙය හොඳ ලෝක වාර්තාවක් නොවන අතර විකෘති ලෝක වාර්තාවකි. ෆීල්ඩ් මාර්ෂල් වරයෙකු ලෙස යුද හමුදාවේ ඉහලම නිලයක් ප්රදානය කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එකදු හමුදා නිලධාරියෙකු හෝ ආරක්ෂාව සඳහා නැති වුවද පැන්ෂන් ගිය කර්නල් වරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කොමාන්ඩෝ යුද හමුදා සෙබලුන් 50 කගේ ආරක්ෂාවක් ලබාදී තිබීම හතර මර විහිළුවකි.
එපමණක් නොව දේශපාලනඥයන්ට හමුදා ආරක්ෂාව ලබා දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මහින්ද රාජපක්ෂට තවමත් සෙබලුන් 150 කගේ ආරක්ෂාවක් යුද හමුදාව විසින් ලබා දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂට කොමාන්ඩෝ සෙබලුන් 50 කගේ ආරක්ෂාවක් තවමත් ලබා දී ඇත්තේ ගෝඨාභය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ නිසාත් යුද්දයේ අවසන් කාලයේදී ආරක්ෂක ලේකම් ධූරය දැරූ නිසාත් නම් ඒ වගේම හෝ ඊටත් වඩා ආරක්ෂාවක් ජයග්‍රාහී යුද්දයක් සැබෑ වශයෙන්ම මෙහෙයැවූ හිටපු හමුදාපතිවරයාට ලබා දිය යුතුය. මන්ද ඔහුද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූවෙක් වන අතර වර්තමානයේ කැබිනට් ඇමැති ධූරයක්ද දරන නිසාය. දේශපාලනඥයන්ට හමුදා ආරක්ෂාව ලබා නොදීම යටතේ සරත් ෆොන්සේකාට හමුදා ආරක්ෂාව ලබා නොදේ නම් මන්ත්‍රීවරයෙක් වන මහින්ද රාජපක්ෂට සෙබලුන් 150 කගේ ආරක්ෂාවක් ලබා දී ඇත්තේ කෙසේද?
යුද හමුදා සම්ප්රදාය අනුව පැන්ෂන් ගිය කර්නල්ලාට ආරක්ෂක සෙබලුන් ලබා දෙන්නේ නැති නමුත් පැන්ෂන් ගිය යුද හමුදාපතිවරුන්ට මිය යන තුරුම යුද හමුදා ආරක්ෂක සෙබලුන් ලබා දෙති. යුද හමුදාපතිවරයා මිය යෑමෙන් පසු හමුදාපතිවරයාගේ බිරිඳ මිය යන තුරුද සෙබලුන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දෙති. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල හිටපු හමුදාපතිවරුන්ට ලබා දෙන වටිනාකමකි.
එල්ටීටීඊ ප්‍රහාරයකින් මිය ගිය හිටපු විදේශ ඇමැතිවරයෙකු වූ කදිරගාමර් මහතාගේ බිරියටද තවමත් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබියදී හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හමුදා ආරක්ෂාවක් අහිමි කර ඇත්තේ කව්ද? අනෙක් අතට ෆීල්ඩ් මාර්ෂල් වරයෙකුට යුද හමුදා ආරක්ෂාවක් ලබා නොදෙන්නේ කුමන රටක හමුදාවක්ද?
මේ විකෘතියට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ යුත්තේ වර්තමාන යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ ය. ගෝඨාභය රාජපක්ෂගේ බච්චෙක් වන සුරේෂ් සලේට සරත් ෆොන්සේකා වෛරක්කාරයෙකි. ඊට හේතුව නම් යුද අපරාධ කළා නම් ඒ පුද්ගලයන්ට දඬුවම් දී හමුදාවේ නම ශුද්ධ කර ගත යුතුය යන ස්ථාවරයේ ෆොන්සේකා සිටීමයි. ගෝඨාභය රාජපක්ෂ ගේ වුවමනාවට යුද හමුදා බුද්ධි අංශ වල සිටි බච්චන් ලවා සිදුකරන ලද දේශපාලන ඝාතන වලින් බච්චන් බේරා ගෙන එමගින් ගෝඨා බේරා ගැනීමේ වගකීම කරට අරගෙන සිටින්නේ දැන් සුරේෂ් සලේ ය. එබැවින් සලේගේ බුද්ධි අංශ වාර්තා වල හැමවිටම සරත් ෆොන්සේකාට වඩා ගෝඨාභයට ජීවිත තර්ජන ඇතැයි ද, එනිසා යුද හමුදා ආරක්ෂකයන් අවශ්‍ය යැයි ද සඳහන් වේ.
නව ආණ්ඩුවක් පත් වූ පසු පැරණි රෙජීමයට කඩේ ගිය බුද්ධි අංශ නායකයා ඉවත් කර තමන්ට පක්ෂපාතී බුද්ධි අංශ නායකයෙකු පත් කර ගත යුතුය. එසේ නැති වුවහොත් වන්දි ගෙවීමට වන්නේ නව ආණ්ඩුවේ නායකයන්ගේ ජීවිත වලින්ය.
සේනාධිනායකයා ලෙස මේ බරපතල තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහතා තේරුම් ගත යුතුය.
---------------------------
by (2016-03-22 16:58:06)