(ලංකා ඊ නිව්ස් -2016.මාර්.20, පෙ.ව.8.30) රටක අනාගතය තරුණ පරපුරයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමකි. එය රටෙහි ඉදිරි අනාගතයට දමන සාර්ථක අඩිතාලමක් මෙන්ම ආයෝජනයකි. එය අප සැවොම අවිවාදිතව පිළිගත යුතු ය. කරුණු කාරණා එසේ වෙද්දී අන්තර් විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නැවත වතාවක් කුහක ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් දියත් කොට ඇත.පසුගියදා ''උපාධි කඩ'' හකුලා ගනු යනුවෙන් කෑ මොර දෙමින් පෙළපාලියක් ගොස් පොඩි දර්ශනයක් දමනු අපි දුටුවෙමු. සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන විට අපද ඔවුන් සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම්ය. එහෙත් මොවුන්ගේ ඉල්ලීම බැලු බැල්මටම පෙනී යන්නේ ඉතා අසාධාරණ හා කුහක ක්‍රියාවක් ලෙසය. අහිංසක දෙමාපියන්ගේ දරුවන් තමන්ගේ පටු දේශපාලන උවමනා වෙනුවෙන් දඩමීමා කරගැනීම අතීශය ඛේදනීය තත්ත්වයකි. දේශපාලනිකව හතර ගාතෙන් ඇද වැටී නන්නත්තාර වී සිටින එක්තරා පිරිසකගේ අතකොලුවක් වී සිටින අන්තරේ නටන්නේ ඔවුන්ගේ පදේටය. අසාධාරණ ඉල්ලීම් මුල් කරගෙන එන මොවුන්ගේ එකම අභිලාෂය තමන්ගේ සමාජිකයන්ට පොලිසිය ලවා ජල හා කඳුළු ගෑස් ගැස්සවීමය. එය නොලැබුනහොත් ඔවුන්ට නින්ද යන්නේ නැත.
ඕනෑම රටක රජයකට අධ්‍යාපනය වෙනුවෙන් දැරිය හැකි සීමාවක් තිබේ. සෑම ළමයෙකුටම මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබාදීම රජයේ යුතුකමකි. මන්ද ඔවුන්ගේ දෙමාපියන් රජයට බදු මුදල් ගෙවන බැවිනි. ඉන් අනතුරුව සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබාදීමට රජයකට නොහැකිය. රජයට දැරිය හැකි ජාතික හැකියාව අනුව ඉතාම ඉහළ ලකුණු ඇති සිසුන් කොටසක් තෝරාගෙන රජයේ වියදමින් ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබාදේ. ඔවුන් එලෙස දැනුම ලබාගනිද්දී අනෙක් පිරිස මුදල් දී දැනුම ලබාගනිති. එය හරියටම කිවහොත් පිරිසක් ටියුෂන් පන්ති ගොස් දැනුම ලබාගෙන උසස් පෙළට ලියන අතර තවත් පිරිසක් රජයේ පාසලෙන් ඉගෙනගෙන උසස් පෙළට පැමිණෙනවා මෙන්ය. දෙගොල්ලෝගෙම දැනුම අවසාන වශයෙන් පරීක්ෂා වන්නේ එකම තත්ත්වයේ විභාගයකිනි. ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයක් මුදල් දුන් පලියට උපාධියක් දෙන්නේ නැත. ඒ සෑම සිසුවකුම ඉතාම මහන්සි වී අධ්‍යන කටයුතුවල නියැලෙති. ''උපාධි කඩ'' යනුවෙන් මාකට් කළ හැකි පාඨයක් අල්ලාගෙන දැගළුවාට කිසිම උසස් අධ්‍යාපන ආයතනකින් කඩෙන් ආප්ප ගන්නවා මෙන් උපාධි ලබාගත නොහැක. සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල වල විශය නිර්දේශය, විභාග රටාව හා විනය රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් වඩා ඉහළ මට්ටමක ඇත. කොහෙන් හෝ ලබා ගන්නේ දැනුම නම් එහි ඇති වරද කුමක්ද? අනෙක් සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට හරස්වීම ඉතාම පහත් නීච ක්‍රියාවකි. අන්තරය වහාම මේ නීච තිරශ්චීන ක්‍රියාව නතර කළ යුතුය.
පෞද්ගලික විශ්වවිද්‍යාල තිබීමේ අනෙක් වැදගත් කරුණක් වන්නේ සිසුන්ට තමන්ගේ අභිමතය පරිදි පාඨමාලාවක් තෝරා ගැනීමට හැකි වීමයි. සිසුවෙකු වෛද්‍යවරයකු වීමට ඇති දැඩි ආසාව නිසා උසස් පෙළට ලියා උත්සාහ කළ ද ලකුණු කිහිපයක් මදී වීමෙන් ඔහු අකමැති වුවද විද්‍යවේදී වැනි උපාධියක් හැදැරීමට සිදුවේ. එය ඔහුගේ ඉරණම යැයි කියා ගැලවීමට නොහැක. එය අපගේ සමස්ථ අධ්‍යාපන ක්රමයේ ඇති වැරැද්දකි. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ ඔහු වෛද්‍ය පීඨයට ඇතුලත් වුවහොත් ඔහු එයින් රටට කරන සේවය අකමැති විද්‍යා පීඨයට ගොස් කරන සේවයට වඩා නිතැතින්ම වැඩි වේ.
අඩු ලකුණු සිසුන්ට වෛද්‍ය උපාධි කිරීමට ඉඩ දෙනවා යයි අන්තරය තර්ක කරති. එයද ගෝත්‍රික තර්කයකි. 80 දශකයේදී බී දෙකයි සී දෙකටද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය. ඒ එසේ නම් අද සිටිනා බොහෝ වෛද්‍යවරු අඩු ලකුණු සිසුන්ය. තරඟ කාරිත්වය වැඩි වීමට සමානුපාතිකව බුද්ධිය වැඩි වීමේ සූත්‍රයක් නැත.
ලෝකයේ දියුණු බොහෝ රටවල රජයේ විශ්වවිද්‍යාල නැත. ඔවුන් තෝරාගත් සිසුහු ප්‍රමාණයකට පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඇතුල්වීමට ශිෂ්‍යත්ව පිරිනමයි. ශිෂ්‍යත්ව නොලැබෙන පිරිස මුදල් ගෙවා ඇතුලත්වේ. අප දිගින් දිගටම පෙනි සිටින්නේ නොදියුණු ගෝත්‍රික මතවාදයන්ට විරුද්ධවය. ඔබ මොහොතක් මෙසේ සිතන්න එක් සිසුවකු රජයේ වෛද්‍ය පීඨයකට රජයේ වියදමින් ඇතුලත් කරන අතර තවත් සිසුවෙකු පෞද්ගලික වියදමින් පෞද්ගලික පීඨයකට ඇතුලත් කරයි. මොවුන් දෙදෙනාම එකම වෛද්‍ය දැනුම ලබාගනිති, එකම විභාගවලට මුහුණ දී සමත් වේ. දැන් මොවුන්ගේ දැනුමේ හෝ උපාධියේ වෙනසක් තිබිය හැකිද? නැත. පෞද්ගලික පීඨයන්ට අවශ්‍ය සායනික දැනුම ලබා දීමට අකුල් හෙලන්නේ වෙනසක් ඇති කිරීමේ කුහක චේතනාවෙනි. කෘතිම වෙනසක් ඇති කිරීමට හදන්නේ ගෝත්‍රික කෝණයකින් බලන කුහක ළිං මැඩියන් විසින්ම ය.
මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගොස් නැග්ග ඉනිමගට පයින් ගසා පෞද්ගලික අංශයට හා විදේශ රටවලට ගොස් රැකියා කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් තිත්ත කසාය බීපු ගොළුවන් මෙන් මොවුහු මුනිවත රකිති. අඩුම තරමින් තමන් රජයේ මුදලින් ඉගෙනගත් බැවින් එයට කෘතගුණ සැළකීමක් ලෙස අනාගත පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් සත පහක්වත් වෙන් කරන්නේද නැත. ඒවා පැහැදිලිවම වැරදිය. එහෙත් අසාධාරණ කරුණු වෙනුවෙන් මෙවැනි උද්ඝෝෂණ,පෙළපාලි සංවිධානය කරන්නේ අසරණ දෙමාපියන්ගේ මුදල් හා බලාපොරොත්තු සියල්ල විනාශ කොට වසර ගණන් විශ්ව විද්‍යාල විභාග අසමත්වෙවී සිටින වෘත්තියමය වශයෙන්ම පෙළපාලි සංවිධානය කරන පිරිස්ය. එය බහුතර විශ්වවිද්‍යාල සිසුන්ගේ මතය නොවේ.
රජයේ විශ්ව විද්‍යාල සේම සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාලද නියාමනයකට යටත් කළ යුතුය. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුය. අපට රටක් ලෙසට යාමට අවශ්‍ය ඉදිරියට මිසක් පසු පසට නොවේ. ඒ සඳහා අපට රජයෙන්ද, පෞද්ගලිකවද කියා නොව බැරිනම් හඳේ විශ්ව විද්‍යාලයකින් හෝ බිහිවන උගතුන් බුද්ධිමතුන් අවශ්‍යයි. අනෙක් කරුණ නම් මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට හැකි වූයේ අදක ඊයෙක නොවේ. ප්‍රථමයෙන්ම බාහිර උපාධියෙන් පටන්ගෙන වරලත් ගණකාධිකරණය, CIMA, aat වැනි පාඨමාලා තෙක් එය විහිදුනි. ඉන් අනතුරුව විදේශ විශ්වවිද්‍යාලවල නියෝජිත ආයතන බිහිවුණි. ඒවා වර්තමානය වන විට අපේ අධ්‍යාපනයේ කොටස් වී හමාරය. මේ සියල්ලටම පෙර වර්තමානයේ මෙන්ම විදේශ රටකින් උපාධියක් ලබාගෙන ඒමේ හැකියාව තිබිණි. කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාටද ඇත්තේ විදේශ වෛද්‍ය උපාධියකි.
අන්තරේ නගන ඔලමොට්ටල තර්කයට අනුව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරා යයි සිතමු. ඉන් අනතුරුව සිදුවන්නේ බහුතරයක් සිසුන් විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමය. ඉන් සිදුවන්නේ රටේ කෝටි ගණනක් මුදල් පිටරටට ගලා යාමය. ඉන් බඩේ පාර වදින්නේ අපේ රටේ දැරිය හැකි මුදලකට උපාධියක් ලබාගැනීමට සිටි මධ්‍යම පාන්තිකයාටය. අවසාන වශයෙන් ඔවුන්ගේ දරුවන්ට ඉගෙන ගත්තාට උපාධියකුත් නැත, රැකියාවකුත් නැත.
පෞද්ගලික දේශපාලන වුවමනා ඇති තක්කඩියන්ගේ අතකොළු නොවී කව්රුන් හෝ ඉගෙන ගන්නවා නම් හදවතින්ම ආශිර්වාද කරන්නට පුරුදු වෙන්න. තමන්ගේ අධ්‍යාපනයට බලපාන ඇත්ත ගැටළු කප්පරක් තියාගෙන ඒවා ගැන කතා නොකොට එක එක දේශපාලන මළ මිනී වලට ඔක්සිජන් දෙන්න හිතාගෙන අනුන්ගෙ සීනි කිරීම වහාම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නතර කළ යුතුය.
අවසාන වශයෙන් ''අරගල කරන්න ඉගෙන ගන්න, ඉගෙන ගන්න අරගල කරන්න'' යි ලෙනින්ගේ වචනය වැරදියට පුනරුච්ඡාරණය කරමින් තමන් ගේම සහෝදරයන් කොටසකට “වළ කපන්න අරගල කරන්න, අරගල කරන්න වළ කපන්න“ නොකරන්න.
---------------------------
by (2016-03-20 03:14:54)