(ලංකා ඊ නිව්ස් -2016.මාර්.19, පෙ.ව.8.25) පසුගිය මාර්තු මස 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී කතා කළ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සාවද්‍ය කරුණු දක්වමින් තමාගේ කීර්ති නාමයට හානි සිදු කර ඇතැයි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන් ෆොන්සේකා මහතාට ලිපියක් යවමින් කියා සිටී.
එම ලිපියේ මෙසේ ද දැක්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා භික්ෂූන් වහන්සේලාට විශාල වශයෙන් වරදාන ලබාදුන් අතර සමහර භික්ෂූන් ගොනාට ඇන්ද වූ බව ප්‍රකාශ කරන ලදී. ගොනාට ඇන්ද වූ භික්ෂූන් වහන්සේලා අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කුලපති පදවියකට පත්කළ බෙල්ලන්විල පළාතේ භික්ෂූන් වහන්සේ නමක් ගැන ද එම කතාවේදී ඔබතුමා විසින් සඳහන් කෙරිණි. කුලපති තනතුරකට පත්ව සිටින බෙල්ලන්විල හිමිනමක් සිටින්නේ නම් ඒ මා පමණය. රටේ ඕනෑම කෙනෙක් දන්නා මගේ නම ඔබතුමා වැනි ජාතික නායකයෙකු නොදැන සිටීම මවිතයට කරුණකි. නැතහොත් සිතාමතාම අවඥාවෙන් එසේ කිරීම ගැන කණගාටු වෙමි.
ඔබතුමා මෙහිදී ප්‍රකාශ කළ සාවද්‍ය ප්‍රකාශය නම් ඉහත සඳහන් කළ පරිදි හිටපු ජනාධිපතිතුමා ගොනාට අන්දවමින් කුලපති ධුරයට පත්කළ බවයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය දැරූ ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමියන් අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ කුලපති තනතුරට 2005.10.07 වෙනි දින මා පත්කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නොව එවක ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායන කුමාරතුංග මැතිණියයි. එම කරුණ නොදැන මෙසේ අපහාස මුඛයෙන් කතා කිරීම ගැන මා බලවත්සේ කණගාටුවට පත්වන අතර එය පාර්ලිමේන්තුවේදීම නිවැරදි කරන මෙන් කරුණා පූර්වකව මතක් කර සිටිමි.
එසේම මෙම ප්‍රකාශය තමාගේ කීර්තිනාමයට කරන අපහාසයක් බව සඳහන් කරන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
විදුනෙත් සියඹලාපිටිය
---------------------------
by (2016-03-19 03:08:10)