(ලංකා ඊ නිව්ස් -2016.මාර්.15, පෙ.ව.9.30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිකර අන්දමින් ක්‍රියා කරන විවිධ පුද්ගලයන් හා බලවේගයන් සමග රැස්වීම් පෙළපාලි උද්ඝෝෂන ආදියට ඍජුව හෝ වක්‍රව සහභාගී වීම අනුබල දීම ආදී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා පක්ෂ සාමාජිකයන්ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රීලනිප මහලේකම් වරයා මෙකී නිවේදනය නිකුත් කර ඇත්තේ ලබන 17 වෙනිදා හොර පොල් විපක්ෂය විසින් පැවැත්වීමට යන රැස්වීමට ශ්‍රීලනිප සාමාජිකයන් සහභාගී වීම වැළැක්වීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත්කම දෙදරා යන අන්දමට ක්‍රියාමාර්ගවල යෙදෙමින් ඊනියා සංවිධාන ගොඩනගා ගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය උල්ලංඝනය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිකර අන්දමින් ක්‍රියාකරනු ලබන පුද්ගලයන් සහ බලවේගයන් දැනටමත් හෙළිදරව් වෙමින් තිබෙන බවත් එබැවින් පක්ෂයේ එක්සත්කම දෙදරායන ආකාරයේ කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නොවන ලෙසත් මහලේකම්වරයා පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු පාක්ෂිකයන් වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙකී පුද්ගලයන්ගේ සහ බලවේගයන්ගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නොමග යවමින් සිය පටු අභිමථාර්ථයන් ඉටු කර ගැනීම පිණිස අප පක්ෂයේ සාමාජිකත්වය අතකොලුවක් කර ගැනීම යැයි පවසන ශ්‍රීලනිප මහලේකම්වරයා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එම පක්ෂය සමඟ ඒකාබද්ධ වන බලවේගයන්ට පරිභාහිරව වෙනත් සංවිධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වන බවට ඔවුන් ඉඟි පළ කර තිබෙන බවද මතක් කර සිටී.
ඒ අනුව 'පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් බාහිරව ස්වාධීන කණ්ඩායමක් සැදීමට හෝ එවැනි කණ්ඩායමක සාමාජිකයන් වීමට හෝ එවැනි කණ්ඩායමක කවර කටයුත්තක් සඳහා සහභාගීවීමට ඉඩ නොදිය යුතුය' යැයි 2016 පෙබරවාරි මස 12 වන දින රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වී ඇති බවද මහලේකම් වරයා සාමාජිකයන්ට මතක් කර දෙයි.
---------------------------
by (2016-03-15 04:09:04)