(ලංකා ඊ නිව්ස් -2016.මාර්.09, ප.ව.9.45) සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්රී ධම්මානන්ද අත්ථදස්සි හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි ගලගම අත්ථදස්සි මහ නා හිමියෝ අද රාත්රී අපවත් වී තිබේ.
උන්වහන්සේ හදිසියේ ඇදවැටීම හේතුවෙන් අද දහවල් මහනුවර රෝහලට ඇතුළත් කළ අතර අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.
1998 සිට අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරය හෙබැවූ අත්ථදස්සි හිමියෝ මහනායක පදවියට පත්වූයේ උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු 2015 මැයි 8 වෙනිදා ය. ඒ 1753 දී ස්ථාපනය කරන ලද සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ 21 වෙනි මහානායක හිමි ලෙසය. අත්ථදස්සි හිමියන්ට මහ නායක ධූරය දැරීමට හැකි වූයේ වසරකට අඩු කාලයකි.
1922 ජනවාරි මස 11 වෙනිදා කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේට සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමිට දාව මාතලේ ගලගම දී ටිකිරි බණ්ඩා නමින් උපත ලද අත්ථදස්සි හිමියෝ 1936 දී පැවිදි බිමට ඇතුලත් වූහ. 1941 දී උපසම්පදාව ලද උන් වහන්සේ අස්ගිරි මහා විහාරයට අයත් උරුලෑවත්ත පන්සලේද, අලව්ව හම්ඹුලුවාව පන්සලේද, මහියංගන රජ මහා විහාරයේද විහාරාමාධිපති හිමියන් වූහ.
මාලිගාව ඉදිරිපස මාර්ගය ජනතාවට විවෘත කිරීමට විරුද්ධ වීමත්, ස්වාමියා අහිමි කාන්තාවන්ට ‘තෝ හිඟා කාපිය‘ කියමින් හිරේ ලගිින කුඩු ජාවාරම් කාර මීනීමරුවන්ට පිරිත් නූල් ගැට ගසන ඥානසාර නමැති රස්තියාදුකාර බේබදු තක්කඩි චීවරධාරියා ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නෙකැයි කියා චරිත සහතික දීමට යෑමත් නිසා අත්ථදස්සි හිමියෝ අවසන් කාලයේදී බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ කනස්සල්ලට පාත්ර වී සිටියේය. මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරවා ගැනීමට කැමැත්ත ලබා ගැනීම සඳහා රුපියල් කෝටියක් වටිනා සුඛෝපභෝගී රථයක් අස්ගිරි හිමියන්ට පූජා කිරීමට සිදුව තිබීමද බෞද්ධ ජනතාවගේ කනස්සල්ල වැඩි දියුණු කිරීමට හේතු විය.
---------------------------
by (2016-03-09 17:54:00)