(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.24, ප.ව.7.10) අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් අද තවත් රේගු අධිකාරී වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. එකී රේගු අධිකාරීවරුන් නම් වසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ නමැති දෙදෙනාය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 15 වෙනිදා රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් අත් අඩංගුවට ගත් කෝටි 12 හමාරක අල්ලස් සිද්ධියට මෙම විමලවීර සහ වික්‍රමසිංහ යන දෙදෙනාද සම්බන්ධ බැවින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබිණ. පෙර කී තිදෙනා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ද අල්ලස් කොමිසම කියා සිටියේ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට තිබෙන නමුත් ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වූ බවයි.
ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් තීරු බදු රහිතව ඉන්දියානු පුද්ගලික සමාගමක් සමග ගිවිසුම් ගතව මෙරටට ආනයනය කරන ලද බස් රථ අමතර කොටස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු නතර කිරීමට හා ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක් හෙවත් කෝටි 15 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් මිලියන 125 ක් අල්ලස් මුදල් ලෙස ලබා ගැනීමේදී පෙර කී රේගු නිලධාරීන් අල්ලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර අද අත් අඩංගුවට දෙදෙනාට අල්ලස් ඉල්ලීම සහ ඊට අනුබල දීමේ චෝදනා එල්ල කරමින් මහේස්ත්‍රාත් වරයෙකු වෙත පමුණුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
මෙය ලංකාවේදී අල්ලාගත් විශාලතම අල්ලස් මුදලයි. ලංකාවේ දූෂිතම ආයතන වලින් එකක් වන්නේ රේගුවයි.
---------------------------
by (2016-02-24 14:10:35)