(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.09, ප.ව.11.00) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා කඳවුරට රැගෙන ගොස්, ඉන්පසුව දෑස් බැඳ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ කැලෑවකට ගෙන ගොස් මරා දැමූ බවට සාක්ෂි හමු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(09) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. මෙය එක්නැලිගොඩ ඝාතනය කළ බවට පළමුවරට නිල වශයෙන් කරුණු හෙලිදරව් කිරීමකි.
2010 ජනවාරි 24 වැනි දින ගිරිතලේ කඳවුරට රැගෙන ගිය එක්නැලිගොඩ මහතා පළමුවන සැකකාර ලුතිනන් කර්නල්වරයා විසින් දෑස් බැඳ රැගෙන ගිය බවට එම කඳවුරේ බලලත් නිලධාරිවරයා ලබාදුන් සාක්ෂි අනුව පැහැදිලි වන බවත් සැකකරුවන් වන ලුතිනන් කර්නල් අර්ජුන කුමාරරත්න, රවින්ද්‍ර රූපසිංහ, මාණ්ඩලික සැරයන් කනිෂ්ක ගුණරත්න මේ පැහැරගෙන යෑමට සම්බන්ධ බවට සාක්ෂි හෙළිවී ඇති බවත් රහස් පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව හෙලි කෙළේය.
අදාළ සැකකරුවන් තිදෙනා මෙම නඩුවේ පළමුවැනි පස්වැනි හා හත්වැනි සැකකරුවන් වන ලෙස ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් පැහැරගෙන යන අවස්ථාවේදී භාවිත කළ දුරකථන සංවාද අනුව ගිරිතලේ සිට අක්කරෙයිපත්තුව කැලෑවට රැගෙන ගොස් ඇති බවට සාක්ෂි ඉදිරිපත් වන බවත් සැකකරුවන් දින දෙකකට පසුව කඳවුරට යළි පැමිණ ඇති බවත් හෙලි විය.
එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට සාක්ෂි තිබේද? යන්න හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීම් අනුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු ගොනු කොට තිබුණි.
නඩුවේ සෙසු සැකකරුවන් වන ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර, විශ්‍රාමික හමුදා නිලධාරි ප්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර යන සැකකරුවන් හත්දෙනා බන්ධනාගාර අධිකාරිය මඟින් දැඩි රැකවරණය මැද අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයේ කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙම පරීක්ෂණවලදී ඇතැම් රාජ්‍ය නිලධාරින් පරීක්ෂණ නිලධාරින් අපහසුතාවට පත්වන ආකාරයෙන් ක්‍රියා කරන බවයි.
එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කිසිදු දෙයක් මතක නැහැ..! යනුවෙන් සාක්ෂි ලබාදෙන ඔවුන් පරීක්ෂණ නිලධාරින් අපහසුතාවට හා කලකිරීමට පත්කරවන බවද ඔහු සඳහන් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණයේ ඇප ඇයදුමක් කර ඇති විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් මෙම අධිකරණයේදී මිනීමැරුම් චෝදනාවලට සාක්ෂි නොමැති බවට කරුණු ඉදිරිපත් කිරීම පුදුම සහගත බව පැවසූ රජයේ නීතිඥවරයා, නීතිඥවරුන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අයුතු වාසියක් ලබා ගැනීමට තැත් කරන්නේ යැයි හැඟී යන බවද සඳහන් කළේය.
අගතියට පත් පාර්ශ්වයෙන්ද ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් හත්දෙනා ලබන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමින් නඩු විභාගය එදින දක්වා කල් තැබීය.
ස්තූතිය -රෝෂන් තුෂාර -දිණමින
---------------------------
by (2016-02-10 00:49:19)