(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව.11.30) අපි, රටේ ජනතාව, සිවිල් සංවිධාන එකතුවෙලා මේ රටේ ජාතික ධනය කොල්ලකමින්, නීතිය අතට අරන් රට තමුන්ට ලියල දුන්න කියල හිතාගන හිටපු පාලකයෙක් සහ ඔහු වටේ සිටි නඩය කරන ලද දුෂණ, අපරාධ, වංචා මේ සේරම පිළිබඳව ජනතාව දැනුවත් කොට කරන ලද සංග්රාමයකින් පස්සේ අපි බලාපොරොත්තු උනේ සමාජ සාධාරණත්වය ඉටුවන සමාජයක පසුබිම හදන එකයි. එහි මුල්ම කටයුත්ත ලෙස අපි කීවේ විධායක ජනපති ක්‍රමය සහ මනාප ක්‍රමය අහෝසි කිරීම. නමුත් ඒක වෙලත් නැහැ. ඊලඟට අපි දැකපු දේ තමයි මෙතෙක් කල් මේ රටේ සිදු උනේ ආණ්ඩුවක් පත් උන දවසේ සිට විපක්ෂය සැලසුම් කරන්නේ කතා කරන්නේ මීළග ආණ්ඩුව හදන විදිය ගැන. රජය කරන සෑම දෙයම විවේචනය කරමින් ආණ්ඩු විරෝධී කටයුතු සඳහා මහජනයා පොළඹවමින් ජාතිවාදය, ආගම් වාදය ආදියට උඩගෙඩි දෙමින් කෙසේ හෝ බලය ලබා ගැනීමේ කූට උපක්‍රම වල යෙදීමයි. මෙන්න මේ නිසයි මෙවර අපි යෝජනා කලේ සහ අගමැතිතුමත් කල්පනා කලේ ජාතික ආණ්ඩුවක් හදල මේ විරසකය අවසන් කරලා මීළඟ වසර 05 හෝ 06 කාලය මුළුමනින්ම මේ ප්‍රතිසංස්කරණ කරලා ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා සංවර්ධන කටයුතු ඉක්මන් කිරීමට.
නමුත් දැන් මොකද වෙන්නේ? වසර 05 ක් සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන් වගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැපකරපු උදවිය තමුන්ට දරන්න තිබුන ඇමතිකම් පවා අහිමි කරගන ඔවුන් රටටම ආදර්ශමත් කැපවීමක් නායකත්වයේ සිට පහලටම සිදු කොට බලපොරොත්තු උන යහපාලනයට මුවා වී ජනපති වට කරගත් පිරිස මේ අවස්ථාව පාවිචිචි කරන්නේ වසර 20 ක පාලනයකින් පසු යලිත් තමුන්ගේ බල ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම සඳහා ජනපති ගොනාට ඇන්දවීමටයි. මේ කෙතරම් නින්දිත ක්‍රියාවක්ද? ඔවුන්ට තනතුරු දුන් එක්සත් ජාතික පක්ෂය කැපකිරීමක් කලේ රට ගැන හිතල. නමුත් මේ උදවිය එතනින් නොනැවතී තම බලය තහවුරු කරගන්න ගමන් ඔවුන්ගේ සියලු දුෂණ වංචා වසා ගන්න ගමන්, රට ගැන සිතා මේ වසර 05 ජනපතිට සහ අගමැතිට සහායවී මේ වෙනසට දායකවී රට දිනවීමට කැපවීම වෙනුවට ජනතාව විසින් එලවා දැමු දුෂිත නඩයද ආරක්ෂා කරමින් ඔවුන්ගේද සහාය ඇතිව මීළඟ කුමන හෝ මැතිවරණයකදී ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමටයි සැලසුම් කරන්නේ. මේකද මේ රටේ සිවිල් සංවිධාන දිවී පරදුවට තියල බලා පොරොත්තු උනේ? මෙන්න මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව අපි හඬක් නැගිය යුතුයි.
මුළු පවුල පිටින්ම පරද්දවා ගෙදර යවපු ඇස් බී වගේ ප්‍රතිපත්තියක් නැති දේශපාලුවෝ හොර පාරෙන් ඇතුලට ඇවිත් සේරම තනතුරු අරන් උන්ගේ හැම දුෂනයම යට ගසාගන, ඉන් නොනැවතී තමුන්ව පරද්දපු මහින්ද සහ ජනපති එකතු කරමින් ආණ්ඩුවක් හදන්නට යාම තරම් තුප්පහි දේශපාලනයක් අපි මුළු ජීවිත කාලෙටම දැකල නැහැ. අනෙක අගෝස්තු 18 වෙනිදා ජාතික රජයක් සඳහා අගමැති විපක්ෂයට ආරාධනා කිරීම ඔවුන්ට අනුව මනෝ විකාරයක් . මොකද ඒ වෙලේ ඔහුටත් ඕන නම් පුළුවන්කම තිබුන ලේසියෙන්ම 10-15 අරගන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න. එහෙම උනා නම් ජනපතිට ඔය පක්ෂය ශක්තිමත් කිරීමක් නොව සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයක රජයේ ජනපති ලෙස සිටීම පමණි. ඕන නම් දෝෂාභියෝගයක් ගෙනත් ඔහුවත් ගෙදර යවන්න තිබුන. අනෙක ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහ මැතිවරණය තිබුන නම් ඔවුන් අඩුම තරම 2/3 බලයක් ගන්නවා. ඊට පස්සේ අගෝස්තු මැතිවරණයේදී පවා මහින්දට නාම යෝජනා නොදුන්නා නම් ඔය නරි රැල එකකුවත් පාර්ලිමේන්තුවට නොඑන නිසා පාර්ලිමේන්තුව පිරිසිදු දේශපාලකයන්ගේ තැනක් කරගන්න තිබුන ස්වර්ණමය අවස්ථාවට මොකද කලේ? එක්සත් ජාතික පක්ෂය බලවත් ආණ්ඩුවක් හදන එක නැවතීමට මහින්දට සහ නඩයට නාම යෝජනා දුන්න. එවෙලේ මහින්දගේ රජය සමග කලකිරී සිටි යහපාලනය කැමති තව බොහෝ ශ්‍රී ලංකා පාක්ෂිකයන් සිටිය යහපාලන රජය සඳහා චන්දය දෙන්න. නමුත් රනිල් පොරොන්දු උන නිසා ජාතික රජයකට මේ උදවිය තම චන්දෙ තමුන්ගේම පක්ෂෙට දුන්නේ කාට දුන්නත් එකම ඵලය නිසයි.
තවත් කිසිවකු නොසිතන ජනතාව නොමග යවන ප්‍රකාශයක් තමයි මහා මැතිවරණයේදී ජනතාව පක්ෂ දෙකෙන් එකකටවත් රජයක් කිරීමට බලය ලබාදී නැති බැවින් මේ සංහිදියාව ජනතාව පැතූ දෙයක් බවට පුන පුනා ප්‍රකාශ කිරීම. එය පට්ටපල් බොරුවකි. 19 සංශෝදනය දිනට පසු දාම මහා මැතිවරණය ප්‍රකාශයට පත් කලා නම් ඔය බයිලා කීමට ඉඩක් නොලැබෙනු ඇත. එමෙන්ම මහින්දට සහ නඩයට නාම යෝජනා නුදුන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ආණ්ඩුවක් හදනු නොඅනුමානය. එක්සත් ජාතික පක්ෂය රට ගැන සිතා කළ කැපවීම වෙනුවට මොවුන් ප්‍රදර්ශනය කරන්නේ බල කාමය පමණි. තම වංචා දුෂණ වසන් කරගැනීමට මෙය පලිහක් කරගැනීම පමණි. මේ ප්‍රෝඩාවට වහාම නැවතීමේ ලකුණ තැබීමට අප බල කලයුතුයි.
ඒ අනුව මේ දේශපාලන කුපාඩි කම් නිසා ප්‍රධාන පක්ෂ දෙක එකතුකොට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිරිස සහ යහ පාලනය කැමති පිරිස ජාතික ආණ්ඩුවක් හදා අපේක්ෂා කල කිසිවක් ඉටුනොවන තැනකට අද රටම පත්ව තිබේ. ඒ මදිවාට ජනපති සහ අගමැති සුසංයෝගයෙන් යහපාලනය ක්‍රියාත්මකවී, යුක්තිය සාධාරණය ඉටුවී විදේශ ආධාර, ආයෝජන ලබා රට දියුණු වුවහොත් කිසි දිනක තමුන්ට සහ පරම්පරාවට යලි බලයට ඒම සිහිනයක් පමණක් වන බව දන්නා නිසාම ඔවුන් යලි ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් රට ගිනිතබන්නේ මේ විදේශ ආයෝජකයන් පැමිණීම වලකා ලීමටයි. රට අරාජික කිරීමටයි. ඒකටත් මේ උදවිය පාවිච්චි කරන්නේ යහපාලනයයි. එම ප්රජාතන්ත්රවාදී වටපිටාව පවා අවස්ථාවාදීන් භාවිත කරන්නේ ඔවුන්ගේ කූට සැලසුම් ක්‍රියාවට නැගීමටයි. අද අප සේරම පැත්තක තබා මේක ජනතාවට පහදා දිය යුතුයි. නැතිනම් යලි රට ජාතිවාදයෙන් ගිනිගෙන රට ලබා ඇති සියලු ජයග්‍රහණ වෙනුවට ලොව අප්‍රසාදයට පත්වී සියලු දෙයම විනාශ වීමට පුළුවන.
ජනපති පක්ෂය ආරක්ෂා කිරීමට යයි කියමින්, පක්ෂ සභාපතිකම නිසා මෙය කරන්නට සිදුවී ඇති බව කියමින්, ඔහු වටා සිටින ජනපති මැදුර අරක්ගත් නඩය ජනතා ඇසට වැලි ගසමින් කරන මේ ප්‍රෝඩාව අපට අනුමත කළ නොහැක. ඔහුට මේ ජනමතය සමග කරන සෙල්ලම වහාම නවතා, සිවිල් සමාජය පැතූ සහ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයන් අවංකව රට ගැන සිතා කල කැපවීම, රටේම ජනතාව රටේ පොදු යහපත සඳහා කල කැපවීම මෙන්ම සෝභිත හිමි දිවි පුදා පැතූ සාධාරණ සමාජය වෙනුවෙන් කළ කැපවීම අංක එකට තබා කටයුතු කරන ලෙස මුළුමහත් සිවිල් සමාජයම ඔහුට බල කලයුතුයි.
සාධාරණ සමාජයක් වෙනුවෙන් යහපාලනයක් උදෙසා කැපවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් විසිනි
---------------------------
by (2016-02-02 00:44:07)