(ලංකා ඊ නිව්ස් -2016.ජන.29, ප.ව.11.30) ‘මෑත අතීතයේ පොලිසියේ ක්‍රියා කලාපය‘ ගැන ජවිපෙ විසින් ගෙන ආ සභාව කල් තැබීමේ විවාදයට ඊයේ (28) දහවල් සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ආන්දෝලනාත්මක කතාවේ සම්පූර්ණ කතාව අප ඉදිරිපත් කරන බව ඊයේ අපගේ පාඨකයන්ට පොරොන්දු වුනෙමු. ඒ අනුව එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.
අගමැති රනිල්වික්‍රමසිංහ මහතා - “මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ විවාදය තිබෙන්නේ පොලීසිය සම්බන්ධවයි. පොලීසිය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඇඹිලිපිටියේ සිද්ධියෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී වාර්තා තිබුණා. මොකක්ද සිදු වන්නේ කියලා බලන්න උසාවියට තමයි භාර දෙන්න තිබෙන්නේ. විශේෂයෙන් මම ඒ ගැන මෙතැන කරුණු කියන්න යන්නේ නැහැ. මට කරුණු ගණනාවක් ලැබිලා තිබෙනවා. මම හිතන විධියට ඒ කාරණා සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක තමයි උසාවියට සොයන්න තිබෙන්නේ.
ලෝකයේ හැම රටකම පොලීසිය ගැන ප්‍රශ්න තිබෙනවා. ඇමෙරිකාවේ ෆර්ගියුසන් නගරයේ සිදු වුණු වෙඩි තැබීම්වලින් පසුව පොලීසියට විරුද්ධව මිනිස්සු පාරට බැස්සා. ගිය අවුරුද්දේ එංගලන්තයේ ඒ වාගේම සිදු වුණා. ඇමෙරිකාවේ පොලීසිය වෙඩි තියලා මැරූ සංඛ්‍යාව බලන විට ඇත්ත වශයෙන්ම ඒ විධියට වෙඩි තියන්න ඕනෑද නැද්ද කියලා බලන්න තිබෙනවා. පොලීසිය කියන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න තිබෙන ආයතනය. පොලීසියෙන් අඩුපාඩුකම් සිදු වුණාම මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා. මේ ළඟදී මෙවැනි ප්‍රශ්න ගණනාවක් පැන නැඟී තිබුණා. ඇඹිලිපිටියේ සිද්ධිය එකක්. අනෙක තමයි කොටදෙනියාවේ සිද්ධිය. අපි මේවා ගැන විග්රහ කර තිබෙනවා. ඒ එක්කම උසාවිය මඟින් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙත් මෙතැනදී මම එක කාරණයක් කියන්න කැමැතියි. පොලීසිය කොහේ හරි වරදක් කර තිබෙනවා නම් ඒක වහන්න අපට වුවමනා නැහැ. සටන් කරලා අපි ඔක්කොම මෙතැනට ආවේ -දෙපැත්තේම ඉන්න අය- නීතිය රජකරවන්නයි. නීතිය රජකරවන කොට අඩුපාඩු සොයන්න තිබෙනවා.
ඒ වාගේම මම කියන්න කැමැතියි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා, නියෝජ්‍ය පොලිස්පති රියන්සි පෙරේරා මැතිතුමා ඉතිහාසය ගැන කළ විග්‍රහයක් ගැන. මට නම් කියන්න තිබෙන්නේ ඊට වඩා වෙනස් කාරණයක්. බ්‍රිතාන්‍ය පොලීසිය ඇති කළේ ඇයි? බ්‍රිතාන්‍ය පොලීසිය ඇති කරලා අවුරුදු තිහක් යන්න ඉස්සරවෙලා ලංකාවේ පොලීසිය ඇති කළා. මොකද, බ්‍රිතාන්‍ය ඉස්සරවෙලා ගෙනාවේ, නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලීසිය විතරක් නොවෙයි. උසාවිය - අධිකරණය- තිබෙනවා. පොලීසිය තිබෙනවා. මාධ්‍යය තිබෙනවා. මේ ආයතන තුනම වුවමනායි. ඒ ආයතන තුනම අර ගෙන තමයි මේ කටයුතු කරන්න තිබෙන්නේ. ලංකාවේ අධිකරණය ඇති කළේ 1835දී යි. අපිට මතක් වෙනවා ආසියාවේ අප්‍රිකාවේ පළමුවැනි නවීන අධිකරණය ඇති කළේ ලංකාවේ කියලා. නීතියේ ආධිපත්‍ය පටන් ගත්තේ ලංකාවේ. ඊට පස්සේ අවුරුදු තිහක් යන්න ඉස්සරවෙලා පොලීසිය ඇති කළා. ඒ වාගේම තමයි මාධ්‍යයත් පටන් ගත්තේ. 'Ceylon Observer' එහෙම පටන් ගත්තා. මේ ඔක්කොම එකට යන්න තිබෙන්නේ. මේවා ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කර ගෙන යන්න තමයි ඒ කාලයේ ඒවා ඇති කළේ. බ්‍රිතාන්‍ය නීති ආවාම ඒවාත් ක්‍රියාත්මක කළා. ඒ වාගෙම ලාංකීය නීති ගැනත් සොයා බැලුවා. හොඳම උදාහරණයක් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලීසිය විතරක් නොවෙයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කිව්වා Bracegirdle අල්ලා ගන්න කියලා. Mark Anthony Bracegirdle කියන්නේ සුද්දෙක්. එයාව අල්ලා ගෙන රටින් පිටුවහල් කරන්න කිව්වා. පොලීසිය ගියා. ඒ නියෝගය අනුව පොලීසිය එයාව අර ගත්තා. එහෙත් පොලීසිය විතරක් නොවෙයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ වෙලාවේ ඔහු උසාවියට ගිහිල්ලා habeas corpus එකක් ඉල්ලුවා, පොලීසියට ඉදිරිපත් කරන්න. ඒ වෙලාවේ උසාවියෙන් තීන්දුවක් දුන්නා Mark Anthony Bracegirdle අත්අඩංගුවට ගන්න බැහැයි කියලා. ඉතින් මේ දෙකම වුවමනායි. ඒ කාලයේ මාධ්‍යයේත් ඒවා දැම්මා. ඒ නිසා මේ ආයතන තුන එකට වැඩ කරන්න වුවමනායි. වැඩ කරන්නේ නැති අවස්ථාවල තමයි මේවා කඩා වැටෙන්නේ. පසු ගිය අවුරුදු දහයේදී සිදු වුණේ ඒකයි. රාජපක්ෂ රෙජීමය යටතේ මේ ආයතන තුනම නැති කළා. අධිකරණය, පොලීසිය, මාධ්‍යය නැති කළා. ඒවාට විරුද්ධව තමයි අපි සටන් කළේ. දැන් ඒවා හදා ගෙන යන්න තිබෙනවා. මම නැහැයි කියන්නේ නැහැ. අපිත් ඉන්නේ එතැනට යන්නයි. අපි දැන් මේ කාරක සභා ඇති කළාම පොලීසිය ගැන තවදුරටත් කථා කරන්න පුළුවන්. සේවයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒවා අලුත් කරන්න ඕනෑ. පොලීසිය නවීකරණය කරන්න ඕනෑ. ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් ආධාර ඉල්ලුවා. අනෙකුත් රටවලින් ආධාර ඉල්ලුවා. ඒ අයගේ පඩි වැඩි කරන්න ඕනෑ. ඒවා ඔක්කොම ඇමතිතුමා කියයි. අපට නවීන පොලීසියක්; හොඳම පොලීසියක් අවශ්‍යයි. එක කාලයක ආසියාවේ හොඳම පොලීසිය තිබුණේ ලංකාවේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ආසියාවේ හොඳම පොලීසිය තිබුණේ ලංකාවේ. මොකක්ද අපට වුණේ. අපි එතැනට යන්න ඕනෑ. හොඳම පොලීසියක් තිබුණා. හොඳ අධිකරණයක් තිබුණා. ඒ ඔක්කොම නැති කළා. ඔබතුමා කියනවා දේශපාලනය යොදවලා පොලීසිය දමලා මැරුවා කියලා. හමුදාව දමලා එක එක දමලා මිනිස්සු මැරුවා. අපිට ඒවා ගැන සොයන්න තිබෙනවා.
පොලීසියෙන් වුණු අඩු පාඩු සොයන්න තිබෙනවා. ඇඹිලිපිටිය උසාවියේ කථා කළා. කවුද ඒ තීන්දුව දෙන්නේ? උසාවියෙන්. අද අපි අත්පුඩි ගහනවා, අධිකරණය තීන්දුව දුන්නා කියලා. අධිකරණයටත් එදා බලපෑම් තිබුණා. අධිකරණය හා පොලීසිය යන දෙකම අප නිවැරදි කරගෙන යනවා. ඒක ඇතුළෙනුත් සිදු වෙන්න ඕනෑ. ඒකයි දැන් සිදු වෙන්නේ. අපිට අලුතෙන් අධිකරණයක් ගෙනැල්ලා දාන්න බැහැ. අලුතෙන් පොලීසියක් ගේන්න බැහැ. පොලීසිය ඇතුළේ දකුණේ විතරක් නොවෙයි, උතුරේ ජනතාවට සිදු වුණ ඒවාත් අපි දන්නවා. මමත් එතැනට ගිහින් තිබෙනවා. විභාග කරන්න ඕනැ තැන් විභාග කරන්න ඕනෑ. වෙන එකක් තියා එදා බුද්ධි අංශයෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ව ගෙනැල්ලා සිරිකොත ඇතුළට දැම්මායින් පස්සේ තව මොනවාද අපට නීතිය ගැන කියන්නේ. මට ගහන්න කියලා මිනිසුන්ව ගෙනාවා නේ. ඒකට පොලීසියට දොස් කියලා වැඩක් නැහැ. පොලීසියත් දැන ගත්තා ඒක වැරදියි කියලා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒකයි ජනවාරි 08වැනිදා පොලීසියේ බහුතරයක් අපි එක්ක එකතු වෙලා පැවැති ආණ්ඩුව එපා කියලා කිව්වේ. ඒ ටික විතරක් අප මතක තබා ගන්න ඕනෑ.
සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්. අපි පොලීසිය හදන්න උදවු කරමු. පොලීසියේ වැරදි නැති කරන්න ඕනෑ. අධිකරණයේ අඩු පාඩු පෙන්වලා හදන්න ඕනැ. අපෙත් තිබුණා අඩු පාඩු. දැන් බලන්න අපේ ඇමතිවරුන්ගේ පවුලේ අය පොලීසියට ගෙනියලා තිබෙනවා. අපේ මන්ත්‍රීතුමිය ගෙනිච්චා. කමක් නැහැ. අපිත් අඩු පාඩු හදා ගනිමු. අපි ඔක්කෝම නිවැරදි වෙලා මේ ගමන යන්න ඕනෑ. ඒත් වෙලා තිබෙන්නේ, වැරදි කරන ගමන් පොලීසියට විරුද්ධව දඩයමේ යනවා. ඒක විතරක් කරන්න එපා.
මම දැන් කථා කළා අධිකරණයයි, පොලීසියයි, අපි ගැනයි. මේ දඩයම කරන්නේ ඒ කවුරුවත් නොවෙයි. දඩයම කරන්නේ, මාධ්‍යය. මාධ්‍ය යන දඩයම මොකක්ද? ඇඹිලිපිටියේ මරණය ගැන දැන් මම කථා කරන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා, බල කළා කියලා මාධ්‍යවේදීන්ගේ කටුසටහන් ගන්න. මම අහනවා, කවුද මේ ජයන්ත නානායක්කාර කියන්නේ? එක්නැළිගොඩ අතුරුදහන් වුණු වෙලාවේ කොහේද හිටියේ? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ වෙලාවේ ජයන්ත නානායක්කාර කථා කළාද? දැන් කෑ ගහන මිනිස්සු කරුණාකරලා මට කියන්න කෝ.?‘
අනුර දිසානායක මන්ත්‍රීවරයා - ‘ඒගොල්ලන්ට ගැලරියේ ඉඳන් කියන්න බැහැ නේ.‘
අගමැතිවරයා - ‘ගැලරියේ ඉඳන් කියන්න. මම කියන්නේ දන්න නිසා. දන්නවා, දන්නවා. මම කියන්නම්. ජයන්ත නානායක්කාර කාගේ සාක්කුවේද හිටියේ කියන්න? ඒකාත් දඩයමේ ගිය එකෙක් නේ. ඒ කාලයේ දඩයමේ ගිය එක වහන්න දැන් කෑ ගහනවා. මම කියන්නේ, ඒක සිදු වුණා නම් ඉස්සෙල්ලා මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරපු මාධ්යවේදියකුයි, සිවිල් සමාජයේ කෙනෙකුයි, නීතිඥවරයෙකුයි හොයා ගන්න. ඒගොල්ලෝ වැරදියි කියනවා නම්, මම එන්නම් පොලීසිය එක්ක. මම ඒ පැත්ත ගන්නේ නැහැ. වැරදි නැහැ කිව්වොත්? දැන් උසාවියට යනවා. උසාවියට යන්න ඕනෑ තමන්ගේ අත් පිරිසිදු කරගෙන. කර්තෘ සංසදය. දෙවියෝ සාක්කි! උදේ එහේ ගහන කොට මොකක්ද කර්තෘ සංසදය කළේ? දැන් ඔයගොල්ලෝ යනවා නම් උසාවියට එහේ නැහැ කිව්වොත් අපිත් යන්නම් උසාවියට. මම දෙන්නම් පෙත්සමක්. මම දෙන්නම් දිවුරුම් පෙත්සමක්. කර්තෘවරයෙක් ඉන්නවා මාධ්‍යවේදියෙක්ට විරුද්ධව කේළාම් කියපු. ඒ මාධ්‍යවේදියාව උස්සාගෙන යන්න ආවා සුදු වෑන් එකෙන්. මම මැදිහත් වෙලා ඒක නැවැත්වූවේ. මමත් දන්නවා ඒක. අනෙක් කර්තෘවරුත් දන්නවා. මම කියන්නේ, දේශයේ නාමයෙන් ඒක සුද්ද කරන්න. නැහැ රට. එච්චරයි. වෙන එකක් නොවෙයි. ඕවා ගිහිල්ලා කියන්න උසාවියට. අපිත් ගිහිල්ලා දැම්මොත් ඔයගොල්ලන්ගේ අත් පිරිසිදු නැහැ. මාධ්‍යවේදීන්ම දෙයි මේවා. කරුණාකරලා ඕනෑ නම් උසාවියට යන්න. fundamental rights case ගන්න. නැත්නම් අපි ඔක්කෝම මේවා කථා කරලා විසඳ ගනිමු. දඩයමේ යන්න එපා. එච්චරයි මම කියන්නේ. දඩයමේ යන එක හරි නැහැ. ඒකට මම විරුද්ධයි. පොලිස් කොමිසමයි පොලීසියයි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනැ. ඒකයි කියන්න ඕනෑ. ඒත් දැන් විශාල මේවා එකක් යනවා. දැන් මට තව එකක් කියන්න. මේ මාධ්‍ය මට කියන්න. දැන් අධිකරණය යටත් කරනවාද නැද්ද? ඇඹිලිපිටිය අධිකරණයට අත්පුඩි ගහලා, හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපට වැඩක් නැහැ. තමුන්නාන්සේලා හෝමාගම අධිකරණයේ සිද්ධිය ගැන එක කතුවැකියක් ලියලා තිබෙනවාද? මට කියන්න. කවදාද ලංකාදීපයේ ලියන්නේ. කවදාද දිවයිනෙන් ලියන්නේ. කවදාද අද පත්තරෙන් ලියන්නේ. කවදාද ලක්බිමෙන් ලියන්නේ. ඔය ලොකුවට කථා කරන්න යන්න එපා. තමුන්නාන්සේලා ජාතිවාදය ගැන මොනවාද කරන්නේ? හැම.. ඔක්කෝමලාට මම කියනවා. අර පැත්තට මම එන්නම් පස්සේ. රිවිරට මම කියනවා. ඔක්කෝමගෙන් මම අහනවා. මම අහනවා විද්‍යුත් මාධ්‍යයෙන්. තමුන්නාන්සේලා මොකක්ද හෝමාගම අධිකරණය ගැන කියන්නේ? කතුවැකිය ලියන්නේ.
බෞද්ධයෝ හැටියට අපටත් අයිතියක් තිබෙනවා, බුද්ධාගම ගැන කථා කරන්න. අපි බුදුන් වහන්සේගේ ධර්මයයි අදහන්නේ. අපි හැම දාම කිව්වේ, "බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි" කියලායි. "මහින්ද සරණං ගච්ඡාමි" කිව්ව ගිහි පැවිදි අයට දැන් අයිතියක් නැහැ, බුද්ධාගම ගැන කථා කරන්න. ඒ ගොල්ලන්ට වෙන ඒවා ගැන කථා කරන්න පුළුවන්. ඊයේ අභයාරාමයට 20ක්, 30ක් ඇවිල්ලා එහිදී මොකක්ද කථා කළේ? මාධ්‍යවේදින් කී දෙනෙක් සිටියාද, පාරට බහින්න කියලා? හරි. ඔබ දමන හැම එක් කෙනාටම මා කොළඹින් 100ක් දමනවා. ඔබ කොළඹට ගෙනෙන හැම එක් කෙනාටම මා කොළඹින් 100ක් දමනවා. 1,000ක් ගෙනෙන්න. අපි ලෑස්තියි ඒක අල්ලන්න. 10,000ක් ගෙනෙන්න. අපි ලෑස්තියි අල්ලන්න. හිතන්න එපා ජන බලය යට වනවාය කියලා ඔය තිබුණු රෙජිමයට. මරණයකට ගිය මිනිසුන්ට, ඔය නිදහස නැති කරන්න ඉන්න මිනිසුන්ට සුදු හුණු ගාලා ආපසු එන්න පුළුවන්ය කියා හිතන්න එපා. මාධ්‍යයෙන් අහන්න. හෝමාගම ගැන නීතිවේදී සංගමයෙන් ප්‍රකාශයක් කළා. ඒ ගැන මාධ්‍ය කීයක් පළ කරලා තිබෙනවාද? ඒ ගැන මා අහන්න කැමැතියි.
දැන් අලුත් සෙල්ලමක් නේ පටන් ගෙන තිබෙන්නේ. අනික් පැත්තෙන් ඉන්නවා, කීර්ති වර්ණකුලසූරිය. ඔහුව අල්ලා ගෙන දැන් තව සෙල්ලමක් පටන් ගන්නවා. ඔහු වාර්තා කරනවා, රණ විරුවන් මරනවාය කියලා. එක්නැලිගොඩ කියන්නේ කවුද? දේශපාලනඥයෙක්ද? මාධ්‍යවේදියෙක්ද? එක්නැලිගොඩ ගැන මාධ්‍යවේදින් හැටියට ඔබතුමන්ලාගේ ස්ථාවරය මොකක්ද කියා රටට කියන්න. විද්‍යුත් මාධ්‍යයෙන් කියන්න. මා හැම එක් කෙනාගෙන්ම අහනවා. ආපසු අහනවා, එන සුමානේ. හැම විද්‍යුත් මාධ්‍යයෙන්ම මා අහනවා. හැම මාධ්‍යයෙන්ම අහනවා, එක්නැලිගොඩ කියන්නේ කවුද, ඔහු මාධ්‍යවේදියෙක්ද, නැද්ද, ඔහු නැති වුණු එක හරිද, වැරැදිද කියන එක. මා "දිවයින" මාධ්‍යවේදින්ගෙන් අහනවා, එක්නැලිගොඩ කියන්නේ කවුද කියලා. ඔහු කීර්ති වර්ණකුලසූරිය වාගේ ගෙම්බෙක්ද, මාධ්‍යවේදියෙක්ද? මා අහනවා, "ලංකාදීප" මාධ්‍යවේදින්ගෙන්. "අද" පත්‍රයේ මාධ්‍යවේදින්ගෙන් මා අහනවා. "ඩේලි මිරර්" එකෙන් කියන්නේ නැහැ. ඔහුව නැති කළාද, නැද්ද?
මොකක්ද මේ හෝමාගම ප්රශ්නය? උසාවිය ළඟදී එක්නැලිගොඩගේ භාර්යාවට බැන්න එකයි. අපේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය පොලීසියට ගෙන යන්න පුළුවන්. මේ මොකක්ද? කරුණාකර ස්ථාවරයක් ගන්න, හැප්පෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව. අනික් සෙල්ලම මොකක්ද? දැන් කියනවා, "ඔයා රිවිර පත්‍රයේ පළ කරන්න. මා ඇවිල්ලා කියවන්නම්" කියලා. ඒකයි "දෙරණ" නාළිකාවේ චතුරගේ ප්රශ්නය ඇති වෙලා තිබෙන්නේ. ඒ චතුරත් ඔය දඩයමේ ගිය කෙනෙක් නේ. ඒ ගැන මා අලුතින් කියන්න ඕනෑ නැහැ නේ. මාධව මඩවලයි, චතුරයි ඔක්කොම එකට එකතු වෙලා රාජපක්ෂලාත් එක්ක එතැන කෑවා. දැන් එනවා, කථා කරන්න. අපි දන්නවා, "දෙරණ" නාළිකාවට ගිහිල්ලා ජාතිවාදය අදින්නයි එන්නේ කියලා. ඕනෑ කෙනකුට පුළුවන්, කොළ කෑලි ටිකක් අරගෙන මුද්‍රණාලයකට ගිහින් පත්‍රයක් මුද්‍රණය කරන්න. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජනතාවට අයිති දෙයක්. ඒ තුළින් ජාතිවාදය පතුරවන්න එපා.
දැන් ජාතික දිනයට විරුද්ධව චතුර ව්‍යාපාරයක් ගෙන යනවා. "රිවිර" පත්‍රයෙන් ගහන්න පටන් ගත්තේ ඉස්සර කාලයේ නේ, දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා නේ. "දිනමිණ" පත්‍රයෙන් ගහනවා. ඊට පස්සේ කියනවා, ඔක්කොටම කියවන්න කියලා. ඔය සෙල්ලම නවත්වන්න. ඔය ගොල්ලෝ ඔය චතුර රීරි යකා වාගේ කියවන්නේ නැතුව මා කියන එක සම්පූර්ණයෙන් පළ කරන්න කියලා මා "දෙරණ" නාළිකාවට කියනවා. "දෙරණ" නාළිකාවේ ස්ථාවරයයි, චතුරගේ ස්ථාවරයයි වෙනස්. මාධව මඩවලගේ ස්ථාවරයයි, "දෙරණ" නාළිකාවේ ස්ථාවරයයි එකද, වෙනස්ද? මේවාට ඒ ගොල්ලෝ පිළිතුරු දෙන්න ඕනෑ. එච්චරයි මා කියන්නේ. දඩයමේ ගිහින් ජාතිවාදය අදින්න එපා. ඊයේ අභයාරාමයේ වුණු කථාව අපි දන්නවා. අපිත් ලෑස්තියි ඒකට මුහුණ දෙන්න. අද මේ රටේ ජාතිවාදය ඇති කිරීම ගැන විභාග කර ගෙන යනවා. සතියකින්, දෙකකින් තවත් අලුත් දේවල් පිට වෙන්න යනවා. මා මාධ්‍යයටත් කියන්නේ කොතැනද ඉන්නේ කියා තීරණය කරන්න කියලායි. එතැන මාධ්‍යවේදින් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් ඉන්නේ නිදහස වෙනුවෙන් සටන් කරපු අය. වික්ටර්ලා මට බැන්නත් ඒ ගොල්ලොත් අපිත් එක්ක සටන් කළා. ඉතින් බැණුම් අහන්න පුළුවන්. පිළිතුරු දෙන්න බැහැ. ඕනෑ නම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්.
ඒත්, දැන් දඩයමේ ගිය මිනිසුන් ඇවිල්ලා සුදනා වෙන්න පටන් ගත්තොත් අපටත් ඒ ගැන කථා කරන්න තිබෙනවා. මම දැක්කා, "Daily Mirror" පත්තරෙයි, "The Island" පත්තරෙයි අලුතෙන් කොටසක් දාලා තිබෙනවා.
Daily Mirror of 27th January, 2016 states, I quote: “Int’l involvement not ruled out: PM”
The Island of 27th January, 2016 states: I quote: “War crimes probe will have foreign component”
මම එහෙම මොනවාවත් කිව්වේ නැහැ. මම මගේ ස්ථාවරය පැහැදිලි කිරීමක් කළා. ඊයේ මමයි, ජනාධිපතිතුමායි, විදේශ කටයුතු ඇමතිතුමායි මේ තත්ත්වය සම්බන්ධයෙන් අනාගත පියවර ගන්නා ආකාරය ගැන කථා කළා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කථා කරමින් එක එක ප්‍රශ්න ඇති කරන්න බැලුවා. මම හොඳ වෙලාවට කිව්වා, "අපි පෙන්වන්නම් අපි ඔක්කොම ඉන්නේ එක ස්ථාවරයේ. අද මම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා" කියලා. අපේ එක ස්ථාවරයක් තිබෙනවා. අපි ජෙනීවා යෝජනාවේ ඉන්නවා. එම යෝජනාවේ කියන්නේ,“Participation of foreign judges and Commonwealth judges”
සහාය වීමට; සහයෝගය දීමට; සම්බන්ධවීමටයි. ඒත් අපේ ස්ථාවරය තුළ ජාත්‍යන්තර යුද්ධ අධිකරණයක් අපි කිසිවිටෙක පිළිගන්නේ නැහැ. මම කිසි දවසක රෝම ප්රඥප්තිය අත්සන් කළේ නැහැ; We have not signed the Statute of Rome. අපේ ව්‍යවස්ථාව ඇතුළේ පරමාධිපත්‍ය අයිති ජනතාවට. ඒ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාර්ලිමේන්තුවේ ඉඳන් ජනතාව ක්‍රියාත්මක කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය තුළින්. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ලෝකයේම තිබෙන පැරණිම අධිකරණයක්. ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වාගේම අපේ ශ්‍රේෂ්ඨාධිකරණයත් 1835 වර්ෂයේ තමයි පටන් ගත්තේ. ඒ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාජිකයන් කොහොමද පත් කරන්නේ කියලා. ඒ සඳහා, ලාංකික පුරවැසියන් වෙන්න ඕනෑ. ඒ නීතිය අපට කඩ කරන්න බැහැ. ඒ නීතිය අපි පිළිඅරගෙන වැඩ කරන්න ඕනෑ. Prosecutors- who are the prosecutors who can come in court? නඩු දාන්න පුළුවන්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ උසාවියට ඉදිරිපත් වෙන අය උසාවිය තමයි තීරණය කරන්නේ. අපි ඔක්කොම නීතීඥයෝ, අධි නීතීඥයෝ විධියට උසාවියට ඇවිල්ලා තිබෙන්නේ විභාග අරගෙන ඒවා pass වෙලා. ඒ නීතියෙන් පිටස්තරව කවුරු හරි විදේශිකයෙක්ට එන්න ඕනෑ නම්, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අවසර ගන්න ඕනෑ වෙනවා. එය පුළුවන්ද, බැරිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරයි. ඒක අපේ වැඩක් නොවෙයි. ඒකත් අපි වෙනස් කරන්නේ නැහැ. “
අනුර දිසානායක මන්ත්‍රීවරයා - ‘විදේශ නීතීඥයෙකුට එන්න පුළුවන්ද?‘
අගමැතිවරයා - ‘කවුරු හරි විදේශ නීතීඥයෙක්ට එන්න ඕනෑ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න වෙනවා තමන් ඉදිරිපත් වෙනවාද, නැද්ද කියලා. -to appear or not. එතකොට නීතීඥ සංගමයෙන් අහලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරයි. ඒකයි සාමාන්‍ය සිරිත. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇතුළේ සහාය දෙන එක ප්‍රශ්නයක් නොවෙයිනේ. එදා සමහර අය කිව්වා,"පිට රට හිටියාට ලාංකිකයන් සම්බන්ධ වුණාට කමක් නැහැ" කියලා. කොහොමත් අපේ විශේෂ නීතීඥ කණ්ඩායම ඇති කරන්න නොගුටි කියන ජපන් මහත්මයෙක්ගේ ආධාර හා උපදෙස් අපි ඉල්ලුවා. දැන් TRC එක සඳහා දකුණු අප්‍රිකාවෙන් උදව් ගන්න සිදු වෙනවා. ජනාධිපතිතුමා කිව්වේ, "අපට එපමණ අය ඕනෑ වෙයි කියලා එතුමා එච්චර හිතන්නේ නැහැ" කියලායි. එතුමා කිව්වේ,"අපට ලංකාවේ අය එක්ක බොහෝ දේවල් කරන්න පුළුවන් වෙයි" කියලායි. ඒ කවුද කියලා අපි සාකච්ඡා කරලා තීරණය කරමු කියලා. එක්කෙනෙක්ද, පස් දෙනෙක්ද, දහයක්ද ඕනෑ වෙන්නේ කියලා අපි ඔක්කොම එකතු කරලා ඒ ඒ ආයතනවලින් කියන්න වෙයි. විදේශ සහාය ඊට ඉස්සර වෙලාත් ගත්තා. පරණගම කොමිසම පත් කරද්දි ඒකට සහාය වෙන්න කියලා විදේශ නඩු කාරයෝ නීතීඥවරුන් 3 දෙනෙක් දැම්මා. ඒ සඳහා ශ්‍රීමත් ඩෙස්මන් සිල්වා මැතිතුමා පත් කළා. ඉතින්, ඔය රාමුව යටතේ යන එක එවෙලේ ප්‍රශ්නයක් නොවෙයි නම්, මොකක්ද "The Island" පත්තරයටයි "Daily Mirror" පත්තරයටයි තිබෙන කැක්කුම? I mean, they are the ones who supported even the international inquiry. They supported the international inquiry. අද මෙතැන වෙනසක් නැහැ. මේගොල්ලන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව වැටෙයිද, කැඩෙයිද කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්න ඇති. මම මොනවා කරන්නද? අනෙක් කාරණය නම්, ලංකාවේ ජාතික ගීය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ජාතික ගීය සිංහලෙන් තිබෙනවා. දෙමළෙනුත් කියන්න පුළුවන්ය කියලා ව්‍යවස්ථාවේ තිබෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ මොකක්ද? ඒකට යෝජනා කිහිපයක් තිබුණා අපි ඒවා සංවිධාන කොමිටියට භාර දුන්නා. ඒක බලන්න පුළුවන්.
Daily Mirror of 28th January, 2016 states, I quote: “Cabinet not decided on Anthem language” අපි කොහොමද තීරණය කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නේ තීරණය කරලා තිබෙන්නේ. කරුණාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. අපි දන්නේ නැහැ. හැමදාම දඩයමේ ගිය මිනිසුන්, මට ගෙදර යන්න කිව්ව මිනිසුන් දැන් හිරවෙලා ඉන්නේ. ඒගොල්ලන් ගෙදර යන එක හොඳයි ඊට වඩා දෙයක් නම් නැහැ මට නම් කියන්න. පොලිසියේ අඩුපාඩුකම් හදමු. අධිකරණයේ අඩුපාඩුකම් හදමු. ඒත් දඩයමේ ගිය මිනිසුන් තමන්ගේ වැරැද්ද වහ ගන්න ඒගොල්ලන් දඩයමේ යනවා නම්, ඒකට විරුද්ධව අපි මාධ්‍යයට කියන්න ඕනෑ මුලින්ම තමුන් හැදෙන්න පසුව මෙතැනට ඇවිත් එකතු වෙන්න කියලා.
මෙතැන මාධ්‍යයේ හුඟක් අය ඉන්නවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි අය. අන්න ඒ අයට ශක්තියක් දෙන්න. තමන්ගේ වැරදි වහගන්න මෙතැන වැඩ කරන්න එන්න එපා. ඒකට අපි ලැහැස්ති නැහැ. පොලීසිය හදන්න. මේ සභාව තිබෙන්නේ මේවා සාකච්ඡා කරන්න. පොලීසියේ තව අඩුපාඩුකම් විටින් විට සිදුවේවි. දැන් මේවා සාකච්ඡා කරලා උසාවියට ගිහින් තමයි ඒවා හැදිලා එන්නේ. අපිටත් තියෙනවා, පොලීසිය ප්‍රතිසංවිධානය කිරිම ගැන කථා කරන්න. පොලීසියට අපි ඉඩ දෙන්නේ, වැරදි කරපු අය ඉවත් කරලා ඉස්සරහට එන්න. අධිකරණය කරනවා ඒක. පොලීසිය කරනවා. අනෙක් දෙපාර්තමේන්තු කරනවා. දඩයමේ යන එකට ඉඩ දෙන්න බැහැ. ඒකට මම නම් පක්ෂ වෙන්නේ නැහැ. මමත් මෙතැන ඉඳලා තිබෙනවා. මෙතුමා කිව්වා වාගේ අඩුපාඩු ගැන කථා කරලා ගත යුතු පියවර මොකක්ද කියා සලකා බලන්න වෙනවා. කාරක සභා ඇති කළාම අපට හුඟක් අවස්ථාව ඇති වෙයි, එදිනෙදා වැඩ කටයුතු ගැන සොයා බලන්න. මායි, කථානායකතුමායි විශේෂයෙන් ක්‍රියා කරන්නේ ඒ වැඩකටයුත්ත කරන්න. එමනිසා, පොලීසිය ගැන උතුරේ විශාල ප්‍රශ්න තිබෙනවා. පොලීසිය එක ක්‍රියාමාර්ගයක් ගත්තා, 500ක් බඳවා ගන්න. හොඳ ඉල්ලුම්පත්‍ර ආවා. ඒක ආරම්භය විතරයි. අපි තවත් අය අර ගන්නට ඕනෑ. ද්‍රවිඩ භාෂාව කථා කරන උතුරේ නැඟෙනහිර උදවිය අපි පොලීසියට අර ගන්නට ඕනෑ. එතකොට තමයි උතුරේ ජනතාවට පොලීසිය ගැන විශ්වාසයක් තියෙන්නේ. මම ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමාට කිව්වා, ශිෂ්‍යභට කණ්ඩායමටත් උතුරේ පාසල් සම්බන්ධ කර ගන්න කියා. ඔබතුමන්ලා ලැහැස්ති නම් කථා කර කියන්න. අපිත් ලැහැස්තියි. ආපසු ශිෂ්‍යභට කණ්ඩායම් ආරම්භ කරලා- ඒ ගොල්ලෝ යුද්ධ හමුදාවටයි, නාවික හමුදාවටයි , ගුවන් හමුදාවටයි යන්නේ නැහැ. අපිට හමුදා ඉවත් කරන්න ඕනෑ. හමුදා පාවා දෙන්න වැඩක් නැහැ. අපි ඉන්නේ හමුදාව ආරක්ෂා කරන්න. අනාගතයට ගෙනියන්න.
යුද්ධය ගැන විභාග කරන එක අපි ගත් තීරණයක් නොවෙයි. ඊට ඉස්සෙල්ලා ගත් තීරණයක්. අපි නොවෙයි ඒක ගෙනිච්චේ. අපි කියා තිබෙන්නේ මෙයයි. අපි දැන් මේ ගැන එකඟත්වයක් ඇති කර තිබෙනවා. ඇත්ත දැන ගන්න එක එකක්. ඔය හුඟක් කාරණා යන්නට තිබෙන්නේ සත්‍ය කොමිෂමට. හමුදාවේත් ගෞරවයට හානි වෙන විධියට කරුණු පෙන්වනවා නම් හමුදාවේ අයත් කියන්නේ නඩු දාන්න කියලා. ඒ යුද්ධාධිකරණයේ. ඒත් මතක තියා ගන්න, එක්නැලිගොඩයි , ලසන්ත වික්රමතුංගයි යුද්ධාපරාධකාරයෝ නොවෙයි. ඒවා සාමාන්‍ය නීතිය යටතේ ඇති වුණු ඒවා. අපි සොයා ගන්න ඕනෑ, ඒකට මොකක්ද වුණේ කියා. ඒක සාමාන්‍ය නීතිය. ඒක රණවිරු ඒවා -මේවා නොවෙයි. යුද්ධයේදී මොකක්ද වුණේ කියන එකත්, සත්‍ය සොයා ගන්න එකත් ගැන කියනකොට හුඟක් අය කියන්නේ සත්‍ය සොයා ගන්නයි. හමුදාවට හානි වෙන විධියට වැඩ කළා නම් ඒවාත් ඒ සාමාන්‍ය නඩු වේවි. ඒවා මොනවාද කියා පසුව තෝරා බේරා ගනිමු. කවුරුත් පාවා දෙන්න වැඩක් නැහැ. "රණවිරුවෝ අනතුරේ , රණවිරුවෝ අමාරුවේ" කියන්නේ- ඒ මහ බොරුනේ; මේ කරන කථා දැන් වෙන දෙයක් කතා කරන්න නැතිවනේ. රණවිරුවෝ අනතුරේ නම් මොනවාටද 2009 දී ජිනිවා නුවර ගිහින් එකඟ වුණේ? අපි කිව්වේ නැහැ යන්න කියා. අපි කිව්වේ නැහැ විභාග කරන්න කියා. අපි කිව්වේ නැහැ, දරුස්මාන් කොමිටියට යන්න කියා. ඒවා වැරදි නම් දැන් කරුණාකර කරපු උදවිය ගිහින් ගඟට පනින්න.මෙතැන ඇවිත් ජාතිවාදය අදින්න එපාය කියා මම කියනවා.
මා දීර්ඝ වශයෙන් කථා කරන්නේ නැහැ. මේ කාරණය මතු කිරිම ගැන අපේ විරුද්ධ පාර්ශ්වයටත් ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
---------------------------
by (2016-01-29 22:10:02)