(ලංකා ඊ නිව්ස් -2016.ජන.21, ප.ව.11.00) අනාගතයේ අප සියළු දෙනාම දේශීය හා කලාපීය සීමාවන් අභිබවමින් කටයුතු කළ යුතු බවත්, ලෝකයේ නව ප්රවණතාවන් අනුව එවැනි සීමාවන්ට සිරවී සිටීමෙන් දියුණුවක් හෝ සංවර්ධනයක් ළඟා කර ගත නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේ ඉන්දීය එන්ඩීටීවී ආයතනය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ ඉදිකර තිබූ එන්ඩීටීවී විශේෂ මැදිරියක දී රූපගත කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ප්‍රකට රූපවාහිනී මාධ්‍යවේදී වික්‍රම් චන්ද්‍රා විසිනි.
නව තාක්ෂණය හා නිර්මාණශීලී ප්රවණතා හේතුවෙන් අතීතයේ මෙන් කුඩා සීමාවන් තුළ සිරවී සිටීමට නොහැකි තරමට ලෝකය එක යායක් බවට පත් වෙමින් පවතින හෙයින්, සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව, වත්මන් යථාර්ථය අවබෝධ කරගනිමින්, අනාගත සැලසුම් සකස් කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවකට මුල පුරා ඇත්තේත්, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් සමග ආර්ථික හා තාක්ෂණ ගිවිසුම් වලට එළැඹෙන්නේත් ඒ පදනම මත බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වකවානුවලදී ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා පළුදු වීම ගැන අදහස් විමසූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා පැවසූයේ එවක පැවති ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයයන් වර්තමානයේ නැති බැවින් හා තමා එවකට බලයේ සිටියේ නැති බැවින් අතීතය අවුස්සාලීමෙන් ප්‍රයෝජනයක් නැති බවය.
ඉන්දීය හා ලාංකේය දේශපාලන නායකයින් අතර මිත්‍රත්වය ශක්තිමත් අවස්ථාවන්හි දී දෙරටේ සබඳතා වැඩි දියුණු වූ බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, වර්තමානයේ දෙරටේ දේශපාලන නායකයන් අතර ඇති සමීප මිත්‍රත්වය හේතුවෙන් අනාගත සබඳතා අතිශයින්ම යහපත් වනු ඇතැයි ද පැවසීය.
හම්බන්තොට වරාය යුදමය කාර්යයන් සඳහා චීනය වෙත ලබා දීමට සැලසුමක් ඇති බවට පසුගිය කාලයේ සිටම පැතිර යන ආරංචිය පිළිබඳවද වික්‍රම් චන්ද්‍ර මහතා වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේය.
එම පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අගමැතිවරයා, හම්බන්තොට වරාය වෙළඳ වරායක් ලෙස සංවර්ධනය කෙරෙන බවත්, ඒ වටා කර්මාන්ත කලාපයක් ඉදි කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත් පැවසීය. ඉන්දීය ආයෝජකයන් ඇතුළු ලෝකයේ ඕනෑම රටක ආයෝජකයන්ට හම්බන්තොට වරාය හෝ කර්මාන්ත කලාපය ආශ්‍රිතව ආයෝජනය කිරීමේ අවස්ථා ඇති බව ද වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
හම්බන්තොට වරාය පමණක් නොව, කොළඹදකුණ වරාය, කොළඹ උතුර වරාය සහ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බැවින්, ඒ කටයුතු සඳහා ආයෝජනය කිරීමේ අවස්ථා ඉන්දීය ආයෝජකයින් සතු බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.
---------------------------
by (2016-01-21 20:21:31)