(ලංකා ඊ නිව්ස් -2016.ජන.18, පෙ.ව.3.30) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගැනීම අද සිට ආරම්භ වන අතර වැදගත් මහජන අදහස් ප්‍රසිද්ධ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කර තිබේ. ඒ අනුව අප පාඨකයෙකු වන, සංස්කෘතිය සහ සංවර්ධනය සඳහා ආසියානු ජාලයේ සම්බන්ධීකාරක උපාලි මාගෙදර මහතා මහජන අදහස් විමසීමේ කමිටුවට ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනා දෙකක් මෙසේ ප්‍රසිද්ධ කරමු.
මාගෙදර මහතා යෝජනා කරන්නේ පරමාධිපත්‍යය මහජනතාව සතු නම් එය අත් හළ නොහැක්කේ නම්, මහජනතාව විසින් පත් කර යවන මහජන නියෝජිතයා ඡන්දය ලබා ගැනීමට ඔහු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයට එරෙහිව කටයුතු කරන විටෙක ඔහුව යලි කැඳවීමේ පරමාධිපත්‍ය බලය ඡන්ද දායකයා සතු විය යුතු බවයි. එය ව්‍යවස්ථාවට ඇතුළු කරන ලෙසද ඔහු යෝජනා කර සිටී. එම වැදගත් යෝජනා දෙක සම්පූර්ණයෙන් මෙසේය.
මෙහි දැක්වෙන අනුපිළිවෙල 1978 ජනරජ ව්‍යවස්ථාවේ පරිච්ඡේද, ඡේද සහ වගන්තිවල අනුපිළිවෙලට සම්බන්ධව ඇත. ඒ නිසා මෙකී එකතු කිරීම් සහ යෝජනා සඳහා එහි දැක්වෙන අංක සහ සංකේත භාවිතා වේ.
1 වන පරිච්ඡේදය
ජනතාව, රජය සහ පරමාධිපත්‍යය
ඡේදය - 3 ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
එකතු කිරීමේ යෝජනාව - ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍යය බලයට ඇතුළත්වන ඡන්ද බලය ආකාර දෙකකින් ක්‍රියාත්මක විය යුත්තේ ය.
වගන්තිය - ‘(ඉ) අටලොස් විය සම්පුර්ණ කර ඇත්තා වූ ද මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද සෑම පුරවැසියකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද පාර්ලිමේන්තු මංත්රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද සෑම ජනමත විවරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.‘
එකතු කිරීමේ යෝජනාව - මෙහි (ඉ) ඡේදයෙන් දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මංත්රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේදී කිසියම් පක්ෂයකින් හෝ ස්වාධීන වශයෙන් හෝ ඉදිරිපත් ව මහජන ඡන්දයෙන් තේරී පත්වන අයෙකු තම පක්ෂයෙන් හෝ ස්වාධීන වශයෙන් හෝ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයට පටහැනි වූ කිසියම් කාර්යයන්හි දී හෝ මහජන නියෝජිතයකු වශයෙන් නො කළමනා කාර්යයක දී හෝ එසේ ක්‍රියා කර ඇතැයි අදාළ බල ප්‍රදේශ සීමාව තුළ සිටින ඡන්දදායකයන්ට සාදක සහිතව ඒත්තු යන්නේ නම් එකී මංත්රීවරයාව ආපසු කැඳවීමේ බලයද එකී ඡන්දදායකයන් සතු විය යුත්තේ ය.
මේ පිළිබඳව වූ ක්‍රමවේදය කෙබඳු විය යුතුද යන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලන්නේ නම් 14 වැනි පරිච්ඡේදයේ දැක්වෙන පරිදි ‘ඡන්ද බලය, ඡන්ද විමසීම් හා මැතිවරණ‘ යන ශීර්ෂයට අදාළව පැහැදිලි විය යුතුයයි අපි යෝජනා කරමු.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික විධිවිධානවලට යටත් ව සම්මත කර ගනු ලබන පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා මැතිවරණවල දී ද පත්කර ගනුලබන නියෝජිතයන්ට ද මේ ආපසු කැඳවීමේ බලය වළංගු වන පරිදි එකී පනත් ද සංශෝධනය විය යුතු යයිද අපි යෝජනා කරමු.
vi වන පරිච්ඡේදය
රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්
උපුටා ගැනීම මහාවංශය - මහාවංශයේ 48 වැනි පරිච්ඡේදයේ (පස්වැනි) අග්බෝ නිරිඳුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන මෙසේ සඳහන් කෙරෙයි. (17 වැනි ගාථාව -18 වැනි)
“ඒ රජහුගේ අස්ථානයෙහි ආයෝජනයේ හෝ අයෝග්‍ය සංග්‍රහයක් හෝ සාවද්‍ය පරිභෝජනයක් හෝ සියළු ආකාරයෙන් ම නුවූයේ ය.“
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වැනි පරිච්ඡේදයේ 27 වැනි ඡේදයේ (1) සහ (2) වගන්තිවලට යටත්ව දක්වා ඇති (ඈ) උප වගන්තිය සහ (ඊ) උප වගන්ති ද දැක්වෙන ප්‍රතිපාදන වඩාත් නිරවුල්ව සහ පැහැදිලිවම මතු කිරීම සඳහා අප විසින් මහා වංශයෙන් උපුටා ගැනෙන ඩ වැනි අග්බෝ රජතුමා විසින් ඉටුකරන ලද සංවර්ධන ක්‍රමවේදය ඒ ලෙසින්ම යොදාගැනීම යෝජනා කරමු.
ඒ අනුව,
“(ඈ) - රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථීක ක්‍රියාවලියක් මඟින් සහ එකී ක්‍රියාවලිය රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයැ වීමේදී මෙන්ම (ඊ) වගන්තියේ ප්‍රකාර නිෂ්පාදනයේ ඛෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී හෝ සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සියළු ජනතාව අතර විසිරී සහ ඇතැම් සමාජ ක්‍රමයක් පිහිටුවීමේ දී ( v වැනි අග්බෝ පිළිවෙත අනුව) අස්ථාන ආයෝජනයේ වැළැකීම, අයෝග්‍ය සංග්‍රහයෙන් වැළැකීම හා සාවද්‍ය පරිභෝජනයේ වැළැකීම යන ත්‍රිවිධ මූලධර්මවලට හාත්පසින්ම අනුකූලව සිදුවිය යුත්තේ ය.“
Consultant – Leadership & Management Development
Coordinator - Asian Network for Culture and Development (ANCAD)
63/2, යහම්පත් මාවත, පිළියන්දල පාර, මහරගම, 10280.
ටෙලි : 011-5679750, 077-655 3723
ඊමේල් [email protected]
---------------------------
by (2016-01-17 22:47:26)