යුද්දය නැතිවත් මුලතිව්හි අලුතින් නාවික හමුදා කඳවුරක් හදන්න ඉඩම් අක්කර 617 ක් අත්පත් කරගන්න යයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.03, පෙ.ව.11.20) අලුතින් නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා යැයි කියමින් මුලතිවු වැසියන්ට අයත් ඉඩම් අක්කර 617 ක් අත්පත් කරගැනීමට නිලධාරීන් පිරිසක් සූදානම් වූ අවස්ථාවේදී මුලතිවු ඉඩම් හිමියෝ ඊට විරෝධය පලකොට තිබේ.

මුලතිවු වැසියන්ගෙන් ඉඩම් ලබාගැනීම පිණිස මූලික සාකච්ඡාවක් පැවැත්වීමට අතිරේක ඉඩම් ලේකම්වරයෙකු කොළඹ සිට මුලතිවු බලා ගොස් ඇති අතර එම සාකච්ඡාවට ඉඩම් අයිතිකරුවන්ගෙන් 48 දෙනෙකු පමණ සහභාගි වී තිබේ.

ඔවුන් සියලු දෙනාම අලුතින් ඉදිකරණු ලබන නාවික හමුදා කඳවුර සඳහා තම ඉඩම් ලබාදීමට කිසිසේත්ම සූදානම් නැතැයි එම නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇති අතර එම විරෝධය පිළිබඳව ලියවිල්ලක්ද මුලතිවු ප්‍රාදේශීය ලේකම්වරයාට බාරදී ඇත.

නාවික හමුදා කඳවුර ඉදිකිරීම පිණිස නිලධාරීන් ඉල්ලා සිටින්නේ යුද සමයේදී ආරක්ෂක අංශ විසින් ප්‍රයෝජනයට ගෙන  සාමය උදාවීමෙන් පසුව මුලතිවු ජනතාවට බාරදුන් ඔවුන්ටම අයත් බලපත්‍ර සහිත  ඉඩම් බව මුලතිවු වැසියෝ කියා සිටිති.

මෙම සාකච්ඡාවට සහභාගිවූ මුලතිවු වට්ටුවාල් පළාතේ ඉඩම් හිමියෙකු වන උතුරු පළාත්සභාවේ උපසභාපති ඇන්ටනි ජෙගනාදන් කියාසිටියේ නාවික හමුදා කඳවුර ඉදිකිරීමට ඉල්ලා සිටින භූමිප්‍රදේශය මුලතිවු වට්ටුවාල් පාලමේ සිට පුදුකුඩීඉරිප්පු නගරය දක්වාත්, අනෙක් පසින් නන්දිකඩාල් කලපුවේ සිට මුහුදු වෙරල දක්වාත් දිවෙන විශාල පළාතක් බවයි.

නාවික හමුදා කඳවුරක් ඉදිකිරීමට මේ තරම් විශාල භූමියක් අනවශ්‍ය බව කියමින් ඉඩම් හිමියෝ තර්ක කළ අවස්ථාවේදී නිලධාරීන් ප්‍රකාශ කළේ යෝජිත ඉඩම් සියල්ලම ලබාගන්නවාද යන්න තවමත් නිශ්චය වශයෙන් තීරණය කොට නැති නමුත් රජයේ අවශ්‍යතාවයන් මත ඉඩම් ලබාගන්නේ නම් අයිතිකරුවන් අකමැති වුවත් ඒවා ලබාගත හැකිබව යැයිද ජෙගනාදන් කියා සිටියා.

මුලතිවු පළාතේ මෙම භූමිභාගය සංචාරක කර්මාන්තය අතින් ඉතා වැදගත්වීමත්, අවසන් යුද ගැටුම් පැවතියේ මෙම පළාතේ බැවින් ඊට ලැබුණු ඓතිහාසිකභාවය මත ඉඩම්වලට  වටිනාකම ඉහලයාමත්  යන කරුණු මත කිසියම් පිරිසක් ඉඩම්හිමියන් රවටා මෙම ඉඩම් වංචනික ලෙස අත්පත් කරගැනීමට  උත්සාහ දරන්නේද යන්න සැකසහිත බවත් ඉඩම් හිමියෝ නිලධාරීන්ට පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් විකල්ප ඉඩම් ලබාගැනීමක් මත හෝ වන්දි ලබාගැනීමේ අරමුණක් මත තම ඉඩම් නාවික හමුදා කඳවුරක් ඉදි කිරීමට ලබාදිය නොහැකි බවට මුලතිවු වැසියෝ තීරණය කොට තිබේ.

කෙසේ වෙතත් මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට නාවික හමුදා මාධ්‍ය මධ්‍යස්ථානයත්, යුදහමුදා මාධ්‍ය මධ්‍යස්ථානයත් ඇමතූ අවස්ථාවේදී එහි නිලධාරීන් කියා සිටියේ මේ ගැන යම් තොරතුරක් දැනගතයුතු වන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් බවයි.

දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

---------------------------
by     (2016-01-03 06:02:08)